Showing posts with label ආ ගිය කතා. Show all posts
Showing posts with label ආ ගිය කතා. Show all posts

Tuesday, April 22, 2025

 

ගමේ බක්මහ උළෙල

අපේ ගමේ බක්මහ උළෙල කළුතර පලාතේ පවත්වනු ලබන ප්‍රසිද්ධ බක්මහ උළෙලකි. එය දශක ගනනාවක් තිස්සේ අද දක්වාම පවත්වා ගෙනඑයි. සංවිධාන කටයුතු වරින්වර විවිධ සමිති සමාඡ විසින් සිදුකළද එය සැමවිටම ගමේ තරුණ කැළගේ කැපවිමෙන් සිදුවන්නකි. එය විවිධ බක්මහ ක්‍රීඩා සහ සංස්කෘතික අංගවලින් සමන්විතව දවස පුරා පැවත්වෙන සැණකෙලියක් බදු මංගල්‍යයකි. බක්මහ උළෙල අවසානයේ දිවයිනේ ඡනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන සංගීත රාත්‍රියකි.

අප කුඩා කල සිටම බක්මහ උළෙලේ නිවේදක කටුයුතු සිදු කරනු ලැබුයේ රංඡිත් අයියාය. දුම්රිය නියාමකවරයෙක්වු ඔහු වසර ගනනාවක්ම බක්මහ උළෙලේ වැඩසටහන් ඉදිරිපත් කරමින් නිවේදනය කලේය. පසු කලෙකදි යෞවන සමාඡය බක්මහ උළෙල සංවිධානය කල විට නිවේදන කටයුතු කිරිමේ භාග්‍යය මට ලැබුණි. වසර ගනනාවක්ම මම එම කටයුත්ත අශාවෙන් ඉටු කලෙමි. නිවේදන කටයුතුවලදි විශාල වගකිමක් පැවරෙනුයේ බයිසිකල් ධාවන තරග නිවේදනයේදිය‍. බයිසිකල් තරග  කරුවන්ට පහසුවෙන් සහ ආරක්ෂිතව පැද යාම සදහා ඉදිරියෙන් එන වාහන වලට පරී‍ක්ෂාකාරිව ධාවනය කරන ලෙස ඉල්ලා සිටිම වැදගත්ම දෙයකි. නිවේදන කටයුතු වාහනය ගමන්කරනුයේ තරග කරුවන්ට වඩා ඉදිරියෙනි. එනිසා නිවේදනය ඇසුුනු ගමන්ම පාර දෙපස ඡනයා වතුර බාල්දි උස්සාගෙන තරග කරැවන්ට සහය දිමට පාර දෙපසේ බලා හිදියි. එකල ගමේ බයිසිකල් ධාවනයේ ප්‍රධානම ගමන් මාර්ගය වනුයේ ගාලුපාර ඔස්සේ නාගස් හන්දියට ගොස් එතනින් හොරණ පාරට වැටි හොරණින් බන්ඩාරගම ඔස්සේ පානදුරට වැටි නැවතත් ගමේ බක්මහ උළෙල පවත්වනු ලබන පාසල ඉදිරිපිටින් අවසන් විමය. පිරිමි තරගය මේ මාර්ගයේද කාන්තා තරගය පාසල අසලින් ආරම්බ වි ගාලුපාර ඔස්සේ ගොස් වාඩියමංකඩ හන්දියෙන් හැරි බන්ඩාරගම පාර දිගේ බන්ඩාරගමට ගොස් එතනින් පානදුරට ගමන්කර නැවතත් ගාලුපාර ඔස්සේ පාසල ඉදිරියෙන් අවසන් විමයි.

 

ගම හරහා දිවිමෙ තරගය ද ඡනප්‍රිය තරගයක් වන අතර අප කාලයේ මෙම තරගයේ නිතරම ඡයග්‍රහණය කල අය වනුයේ රත්නායක, ගාමිණි සහ ධනපාල අයියාය. ලිස්සන ගස හැමදාම වාගේ තිබෙන්නේ පිට්ටනියේ වොලිබෝල් පිටිය තුලය. ලිස්සන ගසේ නගින්නේ කණ්ඩායමක් ලෙස එකතුවය. මෙහි සැම වසරකම වාගේ කැපි පෙනෙන චරිත දෙකක් වුයේ චල්ල බාප්පා සහ කම්මනවත්තේ සුනිල්ය.

 

කනා මුට්ටිය බිදිම සදහා ප්‍රසිද්ධ වු දෙදෙනෙක් වුයේ අපේ ගෙවල් කිට්ටුව සිටි හේමපාල අයියා සහ අපේ පන්ති‍යේ සිටි රන්ඡිත් ගේ තාත්තාය. කනා මුට්ටිය බිදිමේ තරගයට මේ දෙදෙනාටම අවස්තාව ලැබෙන්නේ අනිත් සියලුම තරග කරුවන්ට අවස්තාව ලබාදිමෙන් පසුවය. මේ දෙදෙනාගෙන්ද පලමුව අවස්තාව හිමිවු කෙ‍නා  අනිවාරයයෙන්ම මුට්ටිය බිදි. ඒ සදහ ඔවුන් සතුවු හැකියාව හෝ විශේශත්වය කෙසේලැබුනා දැයි අදටත් මට පුදුමයකි.

තවත් ඡනප්‍රිය අංගයක් වු බයිසිකල් සංගිත පුටුවයි. පිට්ටනියවට‍ා පුටු තබා තිබෙන අතර තරගය ආරම්බවිමට පෙර බයිසිකල් කරැවන් එක් කකුලක් පුටුවට තබා බයිසිකලයේවාඩිවි සිටියි. තරගය ආරම්බවුවිට ඔවුන් බයිසිකලය සෙමින් පදිමින් ඉදිරියට යායුතු අතර එක තැන නැවති සිටිම තහනම්ය. වරින්වර පුටු ඉවත්කරන අතර අවසානයේසිදුවනුයේ බයිසිකල් කරුවන් දෙදෙනෙක් සහ එක් පුටුවක් ඉතිරිවන අතර දෙදෙනාම පුටුව පසුකල පසු සංගිතය නවත්වයි. එවිට තරගකරැවන් දෙදෙනා ඉතා වේගයෙන් පිට්ටනිය වටා බයිසිකලය පදිමින් ගොස් පලමුව පුටුව කරා ලංවු තැනැත්තා පුටුවට කකුල තබා බයිසිකලය නවත්වා ගෙන ඡයග්‍රාහකයා වේ.

 

අනිත් ඡනප්‍රිය තරගය වනුයේ බාධක දිවිමේ තරගයයි. පුටු හෝ බංකු යටින් රිංගා ගෝනියේ බැස ටික දුරක් දුවගොස් වතුර බාල්දියක් නාගෙන ඉන්පසු බිම පැදුරැ හෝ ගෝනිමත තබා ඇති පිටිවලින් වැසු කාසිය කට‍ට ගෙන සහ තවත් බාධක කිහිපයක්ම පසුකර ඡයග්‍රහණය ලබාගත යුතුය. පිටි වලින් වසා ඇති කාසිය කටින් පිඹ පිටි ඉවත්කර ලබා ගතයුතු අතර වතුර නාගෙන පැමිනි තරගකරැවන් පිටි කටින් ඉවත්කිරිමේදි ඔවුන්ගේ මුහුණ ඇග පුරාම පිටි තැවරේ.

කඹ ඇදිම, බනිස් කෑම, කොට්ටාපොරය, කිරි කැවිම, අලියාට ඇස තැබිම, හැන්දේ දෙහි ගෙඩිය තබාගෙන දිවිම, බැලුන් පිපිරවිම, තුන් කකුලෙන් දිවිම, විකට ඇදුම් තරගය, ගෝනියේ බැස දිවිම, ආදි තරග වලින් සමන්විත බක්මහ උළෙලේ ප්‍රධාන තැනක් ගන්නා අතර වසරින් වසර අළුත් තරග එක්කිරිම ද සිදුවේ. බක්මහ උළෙල අවසන අංගය වනුයේ බක්මහ කුමරිය තේරිමයි.

 

මෙවරද ගමේ බක්මහ උළෙල පවත්වයි. වසර ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ආ මෙම උත්සවය දිගටම පවත්වා ගැනිමට කටයුතු කිරිම ගැන ගමේ තරුණ කැලට ස්තුති විය යුතුය. සමහර අයට මේවා විකාර අනවශ්‍ය දේ ලෙස පෙනුනද ගමක ඡනතාව එකතුව ඡනතාවගේ විනෝදය සහ සතුට වෙනුවෙන් සහයෝගයෙන් කරනු ලබන මෙවැනි දේ ගමට අවශ්‍ය යැයි මගේ අදහසයි.

 අල්ලිය දේවාලය

අවුරුදු කාලයට මතකයට එන තැනකි අල්ලිය දේවාලය. අද එය ශ්‍රී අල්ලිය දේවාලය ලෙස හැදින්වුවත් අල්ලිය කියා ද බොහෝදෙනා එය හදුන්වයි. අල්ලිය යන වචනය දේවාලයට දැම්මේ ඇයිද කියා මම නොදනි. අපේ ගමේ දෙල්ගස්හන්දියේ සිට කටුවන්ගොඩ දක්වා යන මග ට මුහුණලා අල්ලිය දේවාලය ඉදිකරඇත. අම්මාගේ සහ තාත්තාගේ මහ ගෙවල් ඇත්තේ දෙල්ගස්හන්දියේය. එම ගෙවල්වල සිට අල්ලිය දේවාලයට ඇවිදයාමට විනාඩි දෙක තුනක් ගතවේ. අල්ලිය දේවාල ඉඩමට දකුණු පැත්තේ සීමාව පැණි පට්ටාව ලෙස හැදින්වු වෙල්යායයි. බටහිර මායිම අපේ ‍ලොකු බාප්පාගේ (තාත්තාගේ මල්ලි) ගෙය සහ දේවාලයේ කපු මහතාගේ ගෙවල් තිබු ඉඩම්ය. උතුර මායිම දෙල්ගස්හන්දියේ සිට කටුවන්ගොඩට යන පාරය‍. නැගෙනහිර මායිම වනුයේ වෙල්යාය සමග ඇති කුඩා කොරටුවක් වැනි ඉඩමය. එම සිමාව අසලම පාරෙන් එහා පැත්තේ තිබුනේ ගම්වැසියන්ගේ පහසුව සදහා තනාතිබු පොදු නාන පොකුණය. දශක ගණනාවක් එම පොකුණ ගම්වාසින්ට වැදගත්විය. අද එය බාවිතා කරනවාද හෝ තවමත් තිබෙනවා ද යන්න නොදනි. එම පොකුණ ලග තිබුනේ අපේ සීයාට අයත්ව තිබු කුඩා රබර්වත්තක් සහ කුඹුරු යායකි. දැන් ඒවායේ ගෙවල් ඉදිවි ඇත.

අල්ලිය දේවාලය පත්තිනි දේවියට කැපකළ දේවාලයකි. අනෙකුත් දේව ප්‍රතිමා රූප තිබුනද ප්‍රධානවුයේ පත්තිනි දේවියයි. අප කුඩා කළ දේවාලයේ කපු මහතාට අප කිවේ කපු සීයා කියාය. ඔහු ඒ කාලයේ වයසක අයෙකි. පසුව කපු සියාගේ පුතාවු සැමි අයියා දේවාලයේ කපුවා විය. සැමි අයියා හෝ සැමි කපුමහතා ලෙස ගමේ අය ඔහුව හැදින්විය. කපු සීයාද සැමි කපු මහතා ද අතිදක්ෂ නැට්‍ටුවන්ය. දේවාලය තිබු බිම කුඩා කැලෑ රොදක්දවිය. දැවන්ත නාගසක්ද එහිවු අතර දේවාල බිමේ සැරිසරණ විශාල නාගයෙක්ද විය. එම නාගයාගේ වලිගය කොටය.  පනහ හැට හැත්තෑව දශක වල තිබුනේ මැටි වලින් තැනු කුඩා දේවලයකි. අද වනවිට ඒ මැටි දේවාලය වටකොට ඉදිකල ලොකු දේවාලයක් ඇත. එසේම දේවාල බිමද නා නුග ගස් සිටුවා ලස්සන කර නැටුම් සදහාම වෙන්කල බිමකින්ද සමන්විතය.

දේවාලයෙන් කෙරුණු සහ අදටත් කෙරෙන වැඩ කටයුතු බොහෝය. තම ගෙවත්තේ හරක් ඇතිකරන ගම් වාසින් සිදුකරන දේව මෙහයක් වනුයේ එලදෙනුන්ට පැටවු ලැබුනු පසු කපු මහතා ගෙදරට කැදවා දේව දානයක් නැතිනම් කපු දානය දීමයි. අපේ ගෙදර දශක පහකට පෙර හරක් ඇතිකල නිසා දේව දානය දිම සිදුවිය. අදටත් දේව දානය දෙන ගෙදරක් වනුයේ අපේ මහ ගෙදර ඉදිරිපිට ඇති සෙක්කු ආච්චිලාග‍ෙ ගෙදරයි. එම වත්තේ සෙක්කුවක් තිබු අතර හරක් ද ඇති කලේය. කපු දානය සදහා කපු මහතා එන්නේ සවස් ඡාමයේ අදුර වැටීමත් සමගය. වත්තේ කෙලවරක වන්නට තැනු බුලත් තට්ටුව ලෙස හැදින්වු කනු සිටුවා ඒ මත ගොක්කොල වලින් තැනු තට්ටුවට පූඡාවට අවශ්‍ය කැවිලි සහ අනෙකුත් දේවල් තබා දේව කන්නලව්ව පටන්ගන්නා කපුමහතා පැයක් හෝ විනාඩි හතලිස්පහක් පමණ කන්නලවු කරයි. ආයුබෝවේවා මෙබිමට අරක් ගත් දෙවි දේවතාවන් වහන්සේලා කියා පටන් ගෙන කරන කන්නලව්වේ හඩ තවමත් ඇසෙනවා වාගේය. එහි ඇති රිද්මය වචන හසුරුවන ස්වරය උස්පහත් වන හඩ මිහිරිය. කටහඩ බොහෝ ඈතට ඇසේ. තට්ටුව තැබිම සදහා ගන්නා කනු බොහෝ විට ඇල්බීසියා අතුය.

කන්නලව්වෙන් පසු දේව දානය ගෙදර සාලයේ දි පිරිනමයි.  බිම පැදුරු එලා වාඩිවෙන කපු මහතා ඇතුලු පිරිසට කෑම බෙදෙනුයේ කෙහෙල් කොලයටය. බිම වාඩිවිම සදහා අවසර  ඇත්තේ පිරිමි පාර්ශවයට පමණි. කිතුල් පිටි හෝ පාන්පිටි වලින් තැනු කිරියා ලෙස හදුන්වන රසවත් ආහාරයත් කිරි බත් සහ ඇඹුල් කෙසෙල් දානයට අත්‍යාවශ්‍යය.

දේවාලයෙන් වන තවත් දේව කාර්යයක් වනුයේ විවිධ දේවාස්ථාන වලට මෙන්ම අල්ලිය දේවාලයට විවිධ දේ සදහා පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් බාරහාර විමය. එයට අමතරව අපල දෝශ සදහා දෙහි කැපිමද කපු මහතා සිදුකරයි. අවුරුදු කාලවලදි දේවාලයෙන් සිදුවන විශේෂ මෙහෙයක් වනුයේ නානු සැපයිමය. චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමට පෙර නානු ගා නාගතයුතුය. නානු වලට අවශ්‍ය විවිධ කොලවර්ග තම්බා නානු සැකසිම කරන  දේවලයේ කපු මහතා හිස තෙල් ගාන දින පෙරවරුවේ එම නානු මැටි කලවලට පුරවා ගමේ සැම පාරක්ම ගානේ දේවාලයේ ආවතේවකාරයන් හෝ තම හිතවත් අය ලවා බෙදා හරියි. නානු නානු යනුවෙන් කෑගසමින් කුඩා සීනුවක්ද සොලවමින් එන නානු ගෙනෙන්නාගෙන් නානු ලබාගැනිමට පාරට එන ගම්වාසින් කලයට කාසියක් දමා කුඩා කෝප්පයකට නානු ටිකක් ලබාගනියි. ඒ කාලයේ දැම්මේ සත විසිපහක් පනහක් හෝ රුපියලකි. මෙහි තව විනෝදඡනක පැත්තක් වනුයේ නානු කලයේ නානු අඩුවනවි ට නානු කලය රැගෙන යන්නා කරනුයේ පාර අද්දර ඇති ලිදකින් නානු කලයට වතුර පුරවා ගැනිමය. අපේ ගෙදර ලිදෙන්ද මෙලෙස වතුර පුරවාගත් අවස්තාච මගේ මතකයේ ඇත.

 

අල්ලිය දේවාලයේ මා දකින සුවිශේෂිම කාර්යය වනුයේ වාර්ෂිකව පවත්වනු ලබන ගම් මඩුවයි. දෙවොල් මඩුව කියාද හදුන්වයි. දේවාල බිමේ පුවක් ගස් සිටුවා කප් සිටුවා කෙසෙල් කදන් ගෙන ගොක්කොල යොදා ගම් මඩුවට අවශ්‍ය අට්ට‍ාල සකස් කරයි. විවිධ වර්ණ යොදා ඒවා අලංකාර කරයි. දින කිහිපයක් සිදුවන ගම්මඩුව නැරඹීමට රසවිදීමට අපේ ගමේ අය පමණක් නොව අවට ගම්වාසින්ද පැමිණිම සුලබ දෙයකි. මේ ගම්මඩුවට සෑම වසරකම වාගේ සහභාගිවු බෙර කරුවන් තිදෙනෙක් මගේ මතකයට එයි. තාත්තා සහ පුතුන් දෙදෙනෙක් වු ඔවුන් අල්ලපු ගමේය. එකල අප අවට ගම්මාන නගර ඕනෑම තැනක පැවත්වෙන පෙරහරවල් වල බෙරවාදකයන් ලෙස මොවුන්ගේ සහභාගිත්වය ස්ථිරය.  මෙම කියන කාලයේ පුතුන් දෙදෙනා ගැටවරයන්ය. පසු කලෙක මොවුන් දෙදෙනාම රාඡ්‍ය නැටුම් කන්ඩායමේ හෝ ආරක්ෂක අංශ නැටුම් කණ්ඩායම් වලට බැදී ඒවලේ අත්‍යාවශ්‍ය සාමාඡිකයන් වු බව ඒ දිනවලම දැනගතිමි. අද වනවිට වෙනත් දක්ෂ බෙරකරුවන් පැමිනෙන බව දැන ගතිමි. ගම්මඩුවේ ප්‍රධානම අංගය වනුයේ කපු මහත්තයා දේවියට ඇද සලඹ සොලවමින් ලදක් සේ ලැසි ගමනින් කරනු ලබන නැටුමයි. ඉස්සර කපු සීයාත් පසු කලක සැමි කපුමහත්තයාත් මෙය ඉතාමත් ලස්සනට කලේය.

හොද හොද සේල්ලම් එලිවන ඡාමයට කියනාසේ මැදියම පසුවු පසු ඉතා වේගවත් නැටුම් පටන්ගනි. කස්තිරම් බඩ පිලුම් උඩ පිලුම් ආදි නානාප්‍රකාර නැටුම්ය. නට නට‍ා කැරකෙයි. කැරකි කැරකි නටයි. මේ නැටුම් සියල්ලම වාගේ පහතරට තෙල්මේ නැටුම්ය‍. පහත රට පෙරහරවල් පසුපසින් එක්තර‍ා විලාසිතාවකට ඇග නලව නලවා ගමන් කරන, සෙනග වැඩි හන්දි වලදි විවිධ නැටුම් දස්කම් පාන්නේ මෙම තෙල්මේ නැට්ටුවන්ය. තෙල්මේ නැට්ටුවන් ගේ සලුපිලි ඉතාමත් වර්ණවත්ය. නලල් පටිය බැද පයට ගෙඡ්ඡි බැද කරන නැටුම් වල ඇත්තේ පුදුම ලස්සනකි. ගම් මඩුවේ මැදියමෙන් පසු නැටුම් කරුවන් සහ බෙර කරුවන් අතර ඇත්තේ තරගයකි‍. බෙර කරුවන් දන්න සියලු ශිල්ප දමා අඩු රිද්මයේ සිට රිද්මය වැඩි කරමින් නරඹන්නන්ටත් නැටවෙන සේ බෙරවයයි. නැට්ටුවන්ද හැම ශිල්පයක්ම දමමින් නරඹන්න‍න්ගේ විසිල් හඩ මැද නර්තනයේ යෙදෙයි‍. මෙම ගම්මඩු, අල්ලිය දේවාලයේ දශක ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ඇවිත් අදටත් පැවත්විම ගැන සැමි කපු මහතා ටත් ඔහුට සහය දක්වන පිරිසටත් අප ස්තුති කල යුතුය. සැමි කපු මහතා දක්ෂ නැට්ටුවෙක් මෙන්ම ‍කුසලතා පිරි නැටුම් පුහුණු කරුවෙකි. ඔහු පුහුණු කර දේවලයේ ගම්මඩු වල මෙන්ම පෙරහරවල නැටු සමහර නැට්ටුවන් අදවන වි‍ට ආරක්ෂක අංශ මෙන්ම රාඡ්‍ය නැටුම් කණ්ඩායම්වල සාමාඡිකයන් වි අපේ නැටුම් සම්ප්‍රදායන් ලෝකය කර ගෙනයන බව සත්‍යයකි. අපේ සංස්කෘතික අංගයක් වු ගම්මඩු මෙලෙස හෝ පැවත්විම අගය කළ යුතුය. ගම්මඩු පවතින කාලය තුල කඩල ටේස් කරත්ත කරුවන් අයිස් ක්‍රීම් වෙලෙන්දන් අන්නාසි වෙලෙන්දන් සරුවත් විකුනන්නන් සාරවිට කරුවන් ආදින් ගෙන් පිරුනු ප්‍රදේශය සැණකෙලි සිරි ගනියි‍. ගම්මඩු පැවත්වෙන දින කිහිපය සංස්කෘතික මංගල්ලයක් වේ.

Monday, November 19, 2018

ආ ගිය කතා කැම්පස් කුරැටු ගී

කුරුටු ගානව කියන්නෙ යමක් ලියන විට තේරුමක් ඇතිව හෝ නැතුව යම් යම් අකුරු හෝ රූප හෝ නිකන්ම නිකන් ඉරිකැලි ආදිය ලිවිම හෝ ඇඳීමයි. සමහර වෙලාවට ලියනලද හෝ අඳින ලද දෙයක් තවත් කාටවත් තේරෙන්නෙ නැති විදිහට එහෙන් මෙහෙන් ඉරි ඇඳලදාන එකටත් කුරුටු ගානව කියල කියනවා. ඒ වුනත් කුරුටු ගී කියන්නෙ තේරුමක් ඇති දෙයක්. එතනදිත් වෙලා තියෙන්නෙ කලින් සැලසුම් නොකර ඒ ඒ වෙලාවට දැකපු දේ ගැන, හැඟිම් ගැන හිතට ආව දේ කවියකින් හෝ පද දෙකතුනකින් ලියා තැබිම. එලිවැට එලිසමය තියල හතර පදය සම්පූර්ණකල කවි මෙන්ම නිසදැස් ආරෙ කවිත් කුරුටු ගීවල දක්නට ලැබෙනවා. කුරුටු ගී කියපුගමන් අපේ මතකයට එන්නෙ සිගිරියේ කැටපත් පවුරෙ ලියල තියෙන කුරුටු ගී. ඒවායේ තියෙන්නෙ අතිතයේදි සීගිරිය නරඔන්න ආව විවිධ අය තමන් ට හැඟුන දේ, දැනුන දේ ප්‍රකාශ කිරීම. සීගිරි අප්සරාවන් වර්ණනා කිරිම් ද මේවායේ දක්නට තියෙනවා. මේව ලියපු අය කවියන් ලෙස ප්‍රසිද්ධවු අය නොවෙයි. ඒ ඒ ස්ථානවලටගිය සංචාරකයෝ හෝ නරඹන්නො නැතිනම් එවැනි ස්ථානවල ඡිවත්වු අය.
සීගිරි කුරුටු ගී කියවල ඒවා තේරුම් කරල දුන්නෙ, ඒ සම්බන්ධව ලිව්වෙ ඒවා ලෝකයට හඳුන්වාදීමට මූලිකයාවුනේ අපේ රටේ හිටිය ලෝක ප්‍රසිද්ධවූ පුරාවිද්‍යාඥයා වුන මහචාර්ය සෙනරත් පරණවිතාන සූරින්. පසු කලෙකදි දැනට ඇමරිකාවේ සරසවියක සේවයකරන මහාචාර්ය බෙවින්, සීගිරි කුරුටුගී සියගණනක් කියවල තේරුම්කරල පොතක් වශයෙන් පළකරල තියෙනවා. මම පානදුර ශ්‍රී සුමංගල විදුහලේ  උසස්පෙල ඉගෙනගන්න කාලේ මහාචාර්ය බෙවින් ඉගෙනගත්තෙ මට වඩා එක් පන්තියක් ඉහල ඡිවවිද්‍යා පන්තියෙදි. මට මතකයි ඔහු ඡිවවිද්‍යව කරන ගමන් ඒ කාලෙත් පාසලේ සාහිත්‍ය සඟරාව වන සුමඟුල් හඬ සඟරාවට සීගිරි කුරුටු ගී නමින් ලිපියක් ලිව්වා. මම හිතන්නෙ පසුකලෙක ඔහු ඡීවවිද්‍යාව අතහැරල ඉතිහාසය පුරාවිද්‍යාව ගැන අධ්‍යයනය කරල ඒ සම්බන්ධව මහාචාර්ය වරයෙක් වෙන්න ඇති. 

සීගිරි කුරුටු ගී ගැන පටන් අරගත්තට අද මම කියන්න යන්නෙ පසුකලෙක ලියවුන වෙනත් ආකාරයක කුරුටු ගී ගැන. ඒවා තමයි කැම්පස් කුරුටු ගී. කැම්පස් ගැන කතාකලොත් ලංකාවේ කැම්පස් වල ඉගෙන ගන්න ශිෂ්‍යයෝ තරම් බැණුම් අහන කට්ටියක් ලෝකේ කොහේවත් නැතුව ඇතැයි කියල හිතෙනවා. හොඳ වැඩක් කරන්න ගියත්, වැරදි දෙයක් කලත්, මොනව කළත් බැණුම් වලින් අඩුවක් නෑ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය රැකගන්න සටන් කලත්, පුද්ගලික දේශපාලන වාසි තකා සටන් කලත්, හොඳක්නම් අහන්නෙ නෑ. බනින අයත් විවිධයි. සමහර දේශපාලකයෝ ඔවුන් සරසවි ඉගෙනගත්තබවත්, ශිෂ්‍යව්‍යාපාරවල නායකයො වෙලා හිටිය බවත්, අමතකකරල දේශපාලන වාසි තකා බනිනවා. තවත් කට්ටියක් ඉන්නවා කිසිම දෙයක් නොදැන වෙනත් අය බනින නිසා බනිනවා. සමහරවෙලාවට ඉරිසියාව නිසා වෙන්නත් පුලුවන්. මෙහෙම බනින සමහරක් වැස්සකටවත් කැම්පස් ගිය නැති අය.
කැම්පස් ඇතුලෙ ඒකටම ආවේණික වෙච්ච උප සංස්කෘතියක් තියෙනවා. ඒවත් සමහර වෙලාවට කැම්පස් එකෙන් කැම්පස් එකටත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. කැම්පස් එක ඇතුලෙත් සමහර වෙලාවට පීඨ මට්ටමෙනුත් තවත් සුලු වෙනස්කම් තිබෙනවා. ඉන්ඡො, මෙඞ්ඩො, ඇග්‍රො, වෙටාල, ආර්ටො කියල පීඨවල නමින් හැඳින්වෙන අය අතරත් හැසිරෙන වැඩකරන විදිහෙ සුලු සුලු  වෙනස්කම් තියෙනවා. සමහර උප සංස්කෘතික දේවල් කාලයත් සමගම වෙනස් විමටද බදුන්වෙනවා. හැටේ හැත්තෑවේ දශකයෙ විදිහට නොවෙයි අසුව අනුව දශකවල සිතුම් පැතුම් සහ වැඩකල ආකාරය. දැන් බොහෝ දේ තවත් වෙනස්වෙලා. කාලයෙන් කාලයට උපසංස්කෘතිය තුල විවිධ දේ හැඳින්වීමට බාවිතාවන වචනත්, අදහසුත්, ලියන ශෛලියත් වෙනස්වුනත් කැම්පස්වල දක්නට තියෙන දෙයක්තමයි කැම්පස් කුරුටු ගී. මේවා ලියන්න කැටපත්පවුරක් නැතිවුනත් නේවාසිකාගාරවල දේශණශාලාවල කැන්ටිම්වල ඩෙස්ක් බංකු පුටුවල මේව ලියල තියෙනවා. මේවාගේ කතෘවරයෙක් සොයාගන්න නෑ. තමතමන් ගේ හිතට නැගුන අදහස් ලියල තියෙනවා. පොදු ප්‍රශ්න ගැන, පුද්ගලික දේවල් ගැන ලස්සනට ලියල තියෙනවා.
කැම්පස් කුරුටු ගී ගත්තම ඒවා විවිධ පොදු මාතෘකා යටතේ තමයි ලියවිල තියෙන්නෙ. මම මේ ලියන්න යන්නෙ කැම්පස් කුරුටු ගී ගැන සමාඡ විද්‍යාත්මක විශ්ලේෂනයක් කියල හෝ අධ්‍යයන පර්යේශණ පත්‍රිකාවක් කියලනම් හිතන්න එපා. විශය පිළිබඳ උගත්තු ඒ ගැන ලියල තියෙනවා. මම කරන්නෙ විවිධ මාතෘකා යටතේ ලියවුන කැම්පස් කුරුටු ගී කිහිපයක් ඔබේ දැනගැනිමට සහ රසවින්දනයට ඉදිරිපත් කිරිම. මේවායේ කැම්පස් එකේ අයගෙ ෂිතුම් පැතුම් එක්කම උපහාසය සහ හාස්‍යයත් ගැබ්වෙලා තියෙනවා.

කැම්පස් එකේ ඉන්න සමහර අයට තියෙන එක් දැවෙන ප්‍රශ්ණයක් තමයි විභාගවලින් ගොඩයන එක. සමහරුනම් බ්‍රයිටො. විශේශ පාඩම්කිරිමක් නෑ. වැඩිය නැහෙන්නෙ නෑ. වෙලාවට ගිහින් විභාගෙට නියමෙට ලියනවා. තවත් අය හොඳ ක්‍රෑමො. ඒ කියන්නෙ පනදාගෙන, මැරිගෙන පාඩම් කරනවා. සමහරවෙලාවට කටපාඩම් කරනවා. මේ අතරෙ බැරි අයට කියාදෙන උදව්කරන පිරිසකුත් ඉන්නවා. සමහර කැම්පස්වල කුප්පි දානවා කියන්නෙ ඒකට. දන්න එකෙක් අනිත් එවුන්ව විභාගෙන් ගොඩදාගන්න අවශ්‍ය දේ කියල දෙනවා. කුප්පි දැමීම හුඟක් වෙලාවට වෙන්නෙ විභාග ආසන්නම කාලවල. විභාගවල අමාරුකම්, දේශණ වල අමාරුකම්, ලෙක්චර්ස් ලගෙ දේශනවල තියන ප්‍රශ්ණ ආදි ලෙස අධ්‍යයන කටයුතුවලට සම්බන්ධව ලියවුන කුරුටු ගි ටිකක් පලමුව ඉදිරිපත්කරන්නම්. මේව ලිවුවේ මොන සරසවියෙද කියල කියන්න යන්නෙ නෑ. ඒ වගේම ඒව තෙරුම් කරල දෙන්න අදහසකුත් නෑ. කියවනවිටම ඔබට වැටහෙයි මොනව ගැනද කියන්නෙ කියල.

1. සිරිපාලගෙ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරණාව
මාඡි ගැනයි කල්පනාව

2. ධනපති පංතියෙන් පැන පැන අරගත්තු
කළා පීඨ අධිපති ............................................
තම නිළ බලය ගිනි අවියක් කරගත්තු
නොමරා මරනවා සරසවි දූ  පුත්තූ

3. නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත

4. ලෝක සංවර්ධනය
වේගයෙන් සිදුවෙලා
පැය දෙකේ දේශණය
පැයෙන් අහවර වෙලා
ඊට වැඩි වේගයෙන්
සර් යයි නික්මිලා

5. එස්එස් සි විනාශාය
සම්මානො අතිදුර්ලභං
රැකියා විරහිතං දුක්ඛං
බී ඒ ඩිග්‍රී මහා භයං

6. ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම
කෙලෙසද තබාගන්නේ එක තැන මනස
උස් අඩි සපත්තුත් පලඳාගෙන සොඳින
මිස්ගෙ රුවට බිඳවයි මගෙ හද දැහැන

ඊලඟට තියෙන්නෙ ප්‍රේමයට අදාල කුරුටු ගී. ඒවා එක එක ආකාරයේ කවි. තමන්ගෙම පුද්ගලික අත්දැකිම් හෝ යාලුවෙකුගෙ බැචෙකුගෙ අත්දැකිමක් වෙන්නත් පුලුවන්. ප්‍රේමකරල පැරදුන එකා ඒකෙ විරහව ගැන හෝ තමන් බේරුණාවගේ අදහසින් කවිලියනව. තවත් එවුන් ප්‍රේමය ඉල්ලන්න ගිහින් වැඬේ හරිනොගිය දුකට කවිලියනව. සාමාන්‍යයෙන් කැම්පස්වල ප්‍රේමයන් පටන්ගන්නෙ සිනියර් බැචාල සහ ඡුනියර් බැචිල අතර. අලුතෙන් නැව ආවම ඒ කියන්නෙ අලුතෙන් ශිෂ්‍ය කන්ඩායමක් ආවම ඡේෂ්ඨ බැචාල නවක සොයුරියන්ව යාලුකරගන්නව. එකම බැච් එකෙත් ප්‍රේම සබඳතා ඕනතරම් තියෙනවා. යාලුකරගන්න ගිහින් වැඬේ හරිනොගිහින් ඇන ගත්ත අය විරහ කවි ලියනවා. තවත් සමහරු කෙල්ලෙකුට ආස වුනාට අහන්න ගට නැතිව සිතින් හුල්ල හුල්ල ඉන්නවා. එහෙම ඈයොත් කුරුටු ගි ලියනවා.

1. අහෝ කොස්ස
අතුගා දමනු ඔය කතුර
පිරිසදුකරව ඔය සිත
කොස්ස  පෙම්වතා  කතුර  පෙම්වතිය

2. කමිසය මගේ කලිසම වෙන කාගේය
බැනියම මගේ යට ඇඳුමත් ගමනේය
පසුදා හිඟයි ධනපති මහපොළ දාය
කෙල්ලෙක් නෑනෙ මම තාමත් තනිකඩය

3. සෙනෙහස දුකක්
අපමණ බරක්
අදමෙන් හෙටත්
මේ දුක දුකක්

4. අවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අපහට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

5. සයිකො ගසා මම ගිය  කළ ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට

6. පහන් කනුව මම
දැවි ගිය විදුලි බුබුල ඇය

7. මුල්ම දින දුටුවා අහිංසක මුහුණ
මම හිතුනා හා පැටියෙකි කියා
ඔබ රැවූ විට දුටුවා
 රදනක දත් දෙකම ඔබ
 වැටහුනා හැම කොටියටම පුල්ලි නොමැතිබව
 තේරුණා මා කරපු මෝඩකම
හැරෙනු බෑ දැන් කොටි කටක් ළඟ

8. ඉවසනු දනා රුපු යුධයට ඡය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වුනු එවුන් හට කොකු හත අටය
ඉවසපු නිසා මම තාමත් තනිකඩය

9.සොරෙකු ඉල්ලන්නේ මුදල් හෝ ඡිවිතයයි
ගැහැණිය මේ දෙකම ඉල්ලයි

කැම්පස් කුරුටු ගී වල ලියවෙන තවත් දෙයක් තමයි නේවාසිකාගාර ඡිවිතය. ගෙවල් වලින් ඈත්වෙලා සරසවි නේවාසිකගාරවල හෝ පුද්ගලික නිවාස වල බෝඩිම් වෙලා ඉන්න කොට එන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සුඛ සොම්නසයන්ද කුරුටු ගි වෙනවා.

1. රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් පොෂ් බඩු දා ගත්තා
පේර එවුන් ලව් එක ගැන සිත බැන්දා
මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා

2. ක්‍රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
උතේ සතේ නැතිවිට බඩගිනි වෙන්න එපා
මෙදාපොටේ එග්සෑමය ඇනෙනු එපා
යලිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

3. කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
ඛමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුවගියා නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවදා හමුවෙද ඡ‘පුරේ

4. සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
අම්මා දනිනම් මේ සරසවියෙ තතූ
වර බොල කොළුවො යැයි දෙනෙතින් කඳුළු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ


5. ගමේ හොල්මන් නොදුටු මේ මං
මෙහේ හොල්මන් දැකල හොල්මං

 6. එන්නේ කැම්පසුයි හොස්ටල් එකේ සිට
ඛන්නේ වතුර බත් කැන්ටිමේ සිට
මාසගනන් නැත දියබිඳු නාන්නට
මේ දිවිකතර දුක් උහුලන්නෙ කුමට

තවත් අවස්තාවක් තමයි කැන්ටිමේ කෑම ගැන, බෝඩිමේ කෑම ගැන හිතට එන අදහස් දක්වන කුරුටු ගි. එක් කැම්පස් එකක කැන්ටිමේ මුදලාලි කෙනෙක් හිටිය කිසිම දවසක මුහුනෙ හිනහවක් නැ හරියට හිනා නහරෙ කපල දාල වගෙයි. කතා කලොත් අඬ ඇඬියාවමයි.

1. කැන්ටිමේ පල් වෙච්ච
හොද්ද ගා පාං කා
ශිල්ප කලත් හත් අවුරුද්දක්
බඩපනුවොත් නිදැල්ලේ ෆුට්බෝල් කෙළිනවා

2. පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංඡන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසුවේවා


3. බඩගිනිවෙලා මා ගිය කළ ඡිම් එකට
ගල්වුන වඬේ විතරක් තිබුණි කෑමට
කූල් ප්ලේන්ටිය උගුරෙන් යන කලට
තූ නොදකින් සිතුන විඳිනා දුකට

පවතින දේශපාලන තත්වය පිළිබඳව සරසවිසිසුවන්ගේ කාර්යභාරය ගැන, සිසු සටන්වල කටුක බාවය ගැන, උපාධිය ඉවතලා යුක්තිය වෙනුවෙන් සටන් වැදිම ගැනද කුරුටු ගී සරසවිවල තැන්තැන්වල ලියාතිබෙනවා.

1. ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නොමැතිව සරසවි වැසී ඇත


2. ඉරුණු වැරහැලි ගතේ එල්ලා
කුසේ ඇති ගිනි හිතේ අවුලා
එරෙහි වුනු මුලු ලොවම හොල්ලා
නුඹටහිමි උරුමයන් ඉල්ලා
අකුරු සිරකර පවුරු බිඳලා
අලුත් ගමනක් අරඹපල්ලා

3. තබන තබන වෙඩි ආපිට හැරීයන්
මරණ මරණ මිනියට පණ ලැබීයන්
ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්

4. අසාධාරණයෙහි අඳුර බිඳින්නට
හිරුපායන තුරු හිටියා ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු

5. නොහඬන් සරසවිය සලමින් කඳුලු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරිගෙට


ෂිගිරි කුරුටුවලින් ආරම්බකරල කැම්පස් කුරුටු ගී වලින් අවසන් කරද්දි අතරමගදි තව තවත් අමතර කතාවන්ද ලියන එකට ඈඳවන්නට සිදුවුනා. ඒකෙන් කියවන කෙනාට පාඩුවක් හෝ තේරුම් ගැනිමට අපහසුතාවයක් ඇතිවුනා යයි හිතෙන්නෙ නෑ. ආගිය කතා කිවුවට මේ ලිපියෙන් ටිකක් වැඩිපුර විස්තර කියන්න සිදුවුනා. අසන දකින හමුවන චරිත හා සිදුවිම් තමයි මෙම ආගිය කතාවලට පාදක වන්නේ. අදට අවසරයි.