Showing posts with label තීරැ ලිපි. Show all posts
Showing posts with label තීරැ ලිපි. Show all posts

Sunday, June 28, 2026

 

පච්ච විලාසිතාව

මේ වනවිට පච්ච කෙටීම ඡනප්‍රිය විලාසිතාවකි. ඉංග්‍රීසියෙන් ටැටූ ලෙස හදුන්වනවා. ලෝකය පුරා ඡනප්‍රිය පුද්ගලයන් අතර පච්ච කෙටීම සුලබව සිදුවෙනවා‍. පච්ච කෙටු ගායක ගායිකාවන් නලු නිලියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකයේ හැම තැනකම දැකින්න පුලුවන්. ලංකාවෙත් ඒ වගේමයි. දැනට දශක ගනනාවකට පෙර ලංකාවේ පච්ච කෙටීම සමාඡය විසින් අගය කළ දෙයක් නොවේ. චණ්ඩි, බඡාර් එකේ අයියල, අයි ආර් සි කාරයන් තමයි පච්ච කෙටුවෙ. පච්ච සිරාල පච්ච සෝමෙල සිටිය, ඒ කාලේ තිබුන පච්ච අතර ඡනප්‍රිය වැකියක් තමයි මරුවා සමග වාසේ. ඒ වගේම අම්මා කියන වචනයත් අම්මා බුදුවේවා කියන වැකියත් ඡනප්‍රිිය පච්ච. බොහෝවිට පච්ච කොටල තිබුනෙ උරහ‍ිසේ පපුවෙ පිටේ බෙල්ල පිටුපස සහ අතේ මැණික් කටුවෙ. ඡනප්‍රිය පච්ච වුනේ සිංහ මුහුණ, කොටි මුහුණ, කිණිස්ස, නයා, කිණිස්සේ එතුනු නයා. මට මතක විදිහට අපේ ලොකුමාමගේ උරහිස ආසන්නයේ පච්චයක් කොටල තිබුන. ඒ කාලේ පච්ච කොටපු ගැහැණු හිටියෙම නැති තරම්. නීති රකින ආයතනත් පච්ච කාරයන් දිහා බැලුවෙ වරද කාරයන් ලෙස. දැන් නම් ගැහැනු පිරිමි තරුණ මහලු කියල නැ පච්ච කලාව හැම තැනම පැතිරිලා. ඉස්සර තිබුනෙ කලුපාට පච්ච. දැන් වෛවර්ණ පච්ච කොටනව. සමහර අයගේ මුලු ඇග පුරාම පච්ච. විවිධ සතුන් වැකි දර්ශණ මෝස්තර රටා‍ ආදි නානා විදිහෙ පච්ච.

පච්ච කෙටිම වසර දහස් ගනනක් පැරණි කලාවක්. වසර දහස් ගණනාවක් පුරා මිනිසුන් තමන්ගේ සම මත පච්ච කෙටීම (ටැටූ කිරීම) සිදු කරනවා. පැරණි සයිබීරියානු යාත්‍රිකයන්, පොලිනීසියානු ආදිවාසීන්,  දකුණු ඇමරිකානු ආදිවාසීන්, ග්‍රීකයන් ආදී සංස්කෘතින් වල විවිධ අර්ථයන් සදහා පච්ච කොටල තියෙනවා.  නොපෙනන දුෂ්ට බලයන්ගෙන් ආරක්ෂාව සඳහා, ආදරය ප්‍රකාශ කිරීම සඳහා, සමාජ තත්ත්වය හෝ ආගමික විශ්වාස පෙන්වීමට, සැරසිලි ලෙස හෝ දඩුවම් ලෙසද පච්ච කොටල තියෙනවා.

කාලයක් පැරණිම පච්ච ලෙස සැලකුයේ ක්‍රි.පූ. 2000 පමණ වූ ඊජිප්තු මමී වල දක්නට ලැබුනු පච්ච.  නමුත් 1991දී ඉතාලි-ඔස්ට්‍රියානු සීමාව අසල සොයාගත් අවුරුදු 5,300 ක් පමණ පැරණි “ඔට්සි” (Ötzi) නම් මමියෙන් පච්ච හදුනා ගෙන තියෙනවා. එහි පච්ච ලෙස තිබු බින්දු සහ කුරුසු වැනි රූප වෛද්‍යමය අරමුණක් සදහා විශේෂයෙන් සන්ධි වේදනාවන් අඩු කිරීමට යොදාගෙන ඇතිබව සිතනවා.

පැරණි ඉජිප්තුවේ, පච්ච කෙටීම බොහෝවිට කාන්තාවන්ට සීමා වී තිබුණි. ඒවා ගර්භණී බව  සහ දරු උපත සමඟ සම්බන්ධ ආරක්ෂාව හෝ වෛද්‍යමය අරමුණු සඳහා භාවිතා කල බව සිතනවා.  සයිබීරියාවේ පාසිරික් (Pazyryk) ජනතාව උසස් කුලවත් බව පෙන්විම සදහා කාන්තිමත් සත්ව රූප සහිත පච්ච ‍කො‍ටා ඇත. ග්‍රීක සහ රෝමානු සමාජවල පච්ච කෙටීම සිදුකර ඇත්තේ බොහෝවිට වහලුන්, අපරාධකරුවන් හෝ විශේෂ කණ්ඩායම් හඳුනා ගැනීමටය. නවසීලන්තයේ මෆෝරි සංස්කෘතියේ, මුහුණේ කෙටු පච්ච පුද්ගලයකුගේ වංශය, තත්ත්වය සහ හැඳුනුම පෙන්වූ අතර, ඒවා පුද්ගලික තොරතුරු ලියා ඇති පත්‍රයක් වැනි විය.

කාලයත් සමඟ පච්ච කලාව සංස්කෘතික හුවමාරු මගින් වර්ධනය විය. “ටැටූ” යන වචනය බාවිතයට ආවේ පොලිනීසියානු “tatatau” යන වචනයෙන් . පොලිනීසියානුවන් වශයෙන් හදුන්වන්නේ නවසීලන්තය, සැමෝවා, ටොංගා, ටහිටි, කුක් ආදි  දුපත් වැසියන්ය. ටහිටි දුපත්වාසින් භාවිතාකළ“පහර දීම” හෝ “ගැසීමයන අර්ථය දෙන “tatatau” හෝ “tattau”  යන වචනය ජේම්ස් කුක්ගේ  ගවේෂණ ගමනෙන් පසුව 17 වන සියවසේදි ටැටු ලෙස බටහිර ලෝකයට හඳුන්වා දුන්නා. පච්ච අද දක්වාත් කලාත්මක, සංස්කෘතික සහ පුද්ගලික වැදගත්කමක් රැගෙන පවතී. යුරෝපීයයන් අතර ජනප්‍රිය වුයේ විශේෂයෙන් නාවිකයන් සහ ගල්අඟුරු ගොඩකරුවන් අතර. මෙම වෘත්තීන් දෙකම ඉතා අවදානම් වූ බැවින්, ඔවුන්ගේ අතේ ඇන්කර් (නාවික ඇඳුම් ලාංඡනය) හෝ ගල්අඟුරු ලාම්පු රූප සහිත ටැටූ ආරක්ෂාකාරී තලයක් ලෙස භාවිතා කළා.

කාලය සහ ස්ථානය වෙනස් වුවද, පච්ච පිළිබඳ මූලික අරමුණු—හැඳුනුම, ආරක්ෂාව, ප්‍රකාශනය සහ අර්ථය—මනුෂ්‍ය ඉතිහාසය පුරාම සමානව පැවති ඇත.

ටැටූවක් (Tattoo) පච්චයක් යනු සමේ ඩර්මිස් (dermis) ස්තරයට තිරසාර හෝ තාවකාලිකව, වර්ණ ද්‍රව්‍ය හෝ රසායනික වර්ණ ද්‍රව්‍ය ඇතුළත් කර රටාවක් නිර්මාණය කිරීමෙන් සිදු කරන ශරීර වෙනස්කරණයක්. පච්ච කොටන්නන් මෙම රටා නිර්මාණය කරන්නේ විවිධ ක්‍රම සහ තාක්ෂණ භාවිතා කරමින්ය. පැරණි අතින් පච්ච කෙටීමේ ක්‍රමයත්, නවීන පච්ච කෙටීමේ යන්ත්‍රද ඒ අතරට අයත් වේ. නුතනයේ පච්ච විවිධ වේ. විශේශ හේතුවක් නොමැති අලංකාර පච්ච, පුද්ගලික හේතු සහ විශේශ අර්ථ ඇති සංකේතාක්මක පච්ච, රූපමය පච්ච, වචන හෝ දිගු වැකි සහිත පච්ච අද දැකිය හැක.

නුතනයේ පච්ච කොටන්නේ කලාත්මක, අලංකාර, මතක සටහන්, ආගමික හෝ පෞද්ගලික හේතු මතය. සිරකරුවන් හදුනාගැනිමට අංක යෙදිම, අපරාධ කරුවන් සහ වහලුන් හදුනාගැනිමට, විද්‍යාත්මක (forensics) අවශ්‍යතා සදහා භාවිතා වු පච්ච අද වනවිට ස්ථිර සමේ අලංකාරය (Permanent makeup) සදහා, සමේ කැලල් සැගවිම සදහා මෙන්ම වෛද්‍ය අරමුණු සදහාද යොදා ගන්නවා.

පච්ච කෙ‍ටිමේදි ආසාදන ඇතිවිම, සමේ කැලල් ඇතිවිම, විශසහිත තත්ව ඇතිවිම ආදි අතුරු ආබාධ ඇතිවිය හැක. Top of Form

 

නවීන පච්ච කෙටිමේ යන්ත්‍රයේ ආරම්භකයා සැමුවෙල් ඔ’රයිලිය. අයිරිෂ් ඡාතික සම්බවයක් ඇති ඇමෙරිකාවේ   ඡිවත් වි, පච්ච කෙටිමේ කලාව ඉගෙනගත් ඔහු විදුලි බලයෙන්  ක්‍රියා කරන පච්ච කෙටිමේ  යන්ත්‍රය සොයා ගත්තේය.1891 දි ඔහුට යන්ත්‍රය සදහා පේටන්ට් බලපත්‍රය ලැබුනි. අද වනවිට ඉතාමත් නවින ඉක්මනින් පච්ච කෙටිය හැකි යන්ත්‍ර බාවිතාවේ.

ලංකාවේද පැරණි පච්ච කෙටිම කලාවක් තිබිඇත. වෙදකම සටන් කලාව විශේශයෙන් අංගම් පොර සටන් කලාවට අදාලව පච්ච කෙටිම සිදුවෙලා තිබෙනවා. එයට අමතරව අපල වලින් බේරිමට පච්ච කෙටිම සිදුවෙලා තිබෙනවා. ලංකාවේ ඡිවත්වන රොඩි අහිකුන්ටක ඡනයා අතර පච්ච කෙටිම බහුලව සිදුවෙනවා. අතිත‍යේදි ලංක‍ාවේ පච්ච කෙටිම සමාඡය පහත් කර සැලකුවත් අද වනවිට ලංකාවේ එය අතිශය ඡනප්‍රිය විලාසිතාවක්.Bottom of Form

 

Friday, December 16, 2016

කොලම - 2016 දෙසැම්බර්

ශීතල ඇගට දැනෙන උඳුවප් මාසය හෙවත් දෙසැම්බර් මාසය උදාවී ඇත. කිතනු බැතිමතුන් සමග එක්ව මුලූ ලෝකයම ඡේසු තුමාගේ උපත සමරන නත්තල මාසය මෙයයි. අප සැම හොඳින් දන්නා කිතු දහම හා බැඳුනු කියමනක් නැතිනම් පණිවිඩයක්  ඇත. අසල්වැසියාට පේ‍්‍රමකරන්න. මේ කියන්නේ අල්ලපුගෙදර එකා හෝ එකී සමග නියම හෝ අනියම් ආකාරයේ පේ‍්‍රම සම්බන්දයක් පවත්වා ගන්න කියා නොවේ. ඔබ සමග ගැවසෙන ඔබ ඇසුරු කරන සමාඡයේ සියලූ දෙනාවෙත ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් යුතුව මිත‍්‍රශීලීව කටයුතුකරන ලෙසය. බුදුදහම අනුවද සියලූදෙනා වෙත මෛති‍්‍රය වැඞීමට අප හුරුවී ඇත. අද වනවිට සමාඡයට මෙම සිතුවිල්ල ඉතාමත් අවශ්‍ය වී ඇතැයි යන්න මගේ හැගීමයි. වේගයෙන් ඉදිරියට ඇදෙන එකිනෙකා පරයා ඉහලනැගිමට වෙරදරන භෞතික දේට වැඩිඉඩකඩක් වටිනාකමක් ලබාදෙන නූතන සමාඡුයේ අප අවට වෙසෙන අප ලඟින් ඇසුරුකරන නොකරන සියලූදෙනාට කරුණාවෙන් ලෙන්ගතුව සැලකීම වෙනදාටත් වඩා අද අත්‍යවශ්‍ය වී ඇත. විවිධ වූ ප‍්‍රශ්ණ මැද දිවිගෙවන සමාඡයේ ඉක්මන් කේන්තිකාරයන් යමක් ඉවසාදරාගත නොහැකි විරුද්ධ මත වලට සවන්දිය නොහැකි පුද්ගලයන් වැඩිවෙමින් පවතිනවා යැයි සිිතේ. අපේ විදියට කියනවානම් හොස්ස ලඟින් මැස්ස යාම ඉවසාදරාගත නොහැකි කුකුල් කේන්තිකාරයන් නිසා බොහෝ ව්‍යසන වියවුල් සිත් තැවුල් ගැටලූ හැලහැප්පිලි ඇතිවේ. සමාඡුයේ සියලූ කාරණාවලදි මෙය දක්නට ලැබේ. පාරේ ගියත් වාහනයක් එලෙව්වත් කඩයකට ගියත් දේශපාලන කතාබහවලදිත් සුහද හමුවලදිත් පොදුකටයුතුවලදිත් ඉවසිමක් නොමැතිකම පැහැදිලිව දක්නට ලැබේ. අසල්වැසියාට පේ‍්‍රමකරනවාතබා අනුන්ගේ මතයක් ඉවසාදරාගැනීමට නොහැකි අය අප අතරේ ඇත. සමාඡ දේශපාලනික ප‍්‍රශ්ණවලදි සමහරු ඉතාමත් පටු පුද්ගලික මට්ටමින් සිතා තමන්ගේ ඉතාමත් කිට්ටු හිතවතුන් සමග තරහවේ. කතානොකර සිටියි. හැමදේම තමාදමාගත් කණ්ණාඩියේ පාටින් බලන්නට පුරුදුවේ. අනෙකාගේ දේ හෙලාදකියි. අවමානයට පත්කරයි. අන් මතය නොඉවසයි.අවසානයේ ලබන දෙයක් නැත. සිදුවනුයේ හිතවතකු අහිමිවීම පමණි. වාදවිවාද වලදි තම මතය කීවද අනුනට රිදවීම අනුවණ කමකි.

සමහරු සැමවිටම බලනුයේ කා සමග හෝ කොක්කක් දාගැනිමටය. පැටලීමටය. දෙවැනිවිමක් මදිකමක් ලෙස සලකයි සෙකන්ඞ් වෙන්න අකැමතිය. සුලූදේට ගහමරාගනියි. අදවනවිට වාහනපැදවිමෙදි මාර්ගවලදි විවිධ පුද්ගල ඝට්ටන ඇතිවීමට හේතුව අනෙකාට ආදරය කරුණාව නොමැතිවීම සහ අනෙකට ඉඩනොදි තමා ගැනම සිතීමයි. රථ ගාල්වලදි වාහනය නවතාගැනීමට ඉඩක් ලබාගැනීම සඳහා තරගයක යෙදෙයි රණ්ඩුසරුවල් ඇතිකරගනියි. ඉවසීමක් නැත. අසල්වැසියාට කරුණාවක් මෛති‍්‍රයක් හෝ නොදක්වයි. අවස්තාවක් නොදෙයි.

සමහරු ගෙවල්වලින් පිටවන්නේ නොයෙකුත් ප‍්‍රශ්ණ ගැටලු හිතේ තදකරගෙනය. මේ ගැටලූ කැකෑරෙන ප‍්‍රශ්ණ  කුණු ගොඩවල්වාගේය. සුලූ සිද්ධියකදි පවා තමන්ගේ ගැටලූ මුදාහරියි. තමන්ගේ කුණුගොඩවල් අනුන්ගේ ඇගට දමා ගසයි. අනෙකාට පහරදිමට වුව පසුබට නොවේ. අප එයට කුණුබක්කියක් නොවියයුතුය. කෙනෙක් රවයිනම් ගොරවයිනම් හොඳම දේ එතනින් මාරුවීමය. එය නිවටකමක් නොව අවස්තාවට උචිත වැඩක්වේ. අනුන්ගේ ප‍්‍රශ්ණ කුණු අපේ ඇගට හැලිමට ඉඩනොදියයුතුය. එසේම අපේ ප‍්‍රශ්ණ අනුන්ට කරදරයක් නොවිය යුතුය. නරක දේ පෙන්වාදිමේදි වුව අනෙකාට රිදෙන සේ කිරීමට සුදුසු නොවේ. ප‍්‍රශ්ණ ඇතිවිට මිනිසුන්ගේ හැසිරීම සාමාන්‍ය තත්වයටවඩා බොහෝ වෙනස්ය. සමහර අය නිකරුණේ හේතුවක් නොමැතිව මිනිසුන් සමග ප‍්‍රශ්න ඇතිකරගන්නාවිට මේ මනුස්සයා අද ඇඳේ වැරදි පැත්තෙන්නැගිටලද කොහෙද කියා සමාඡයේ කියන්නේ මේ නිසාය.

තරගකාරි සමාඡයේ දී මෛති‍්‍රය කරුණාව ආදරය අත්‍යාවශ්‍යවේ.  සුලූ දේවලට අමනාපවීම අණුවණ කමකි අප ‍ඡීවත්වන්නේ ඉතා සුලූකාලයකි. නත්තල් හැට හැත්තෑවක් සැමරීමට පමණක් වාසනාව තිබිය හැක. ලගදි මා ඇසු කතාවකටඅනුව මේ සුලූ කාලයෙන් වැඩි කොටසක් නිදාගැනිමට සහ අනවශ්‍ය නඩුහබවලට සහ වාදවිවාදවලට ගතවෙයි. ජීවිතය විඳවියයුතු නැත. එය වින්දයුතුය. එනිසා ජීවත්වන කාලයතුල අනුන්ට කරුණාව දයාව මෛති‍්‍රය දැක්විම සුදුසුවේ. එක් හොඳ වචනයකින් කි‍්‍රයාවකින් මිනිසුන්ගේ හිත්සුව වනු ඇත. අසල්වැසියට පේ‍්‍රමකරන්න. මිත‍්‍රශීලිවන්න. උදව්කරන්න. අනුන්ගේ කුණු වලට කුණුබක්කියක් නොවන්නාසේම අපේ කුණුවිසිකිරීමට අසල්වැසියා කුණුබක්කියක් කරනොගන්න. සැමට සුබ නත්තලක් වේවා.


Friday, November 4, 2016

ගුරාගේ කොලම - 2013 ඡනවාරි

කැනඩාවේ ටොරොන්ටෝ හි පලකරන දසත පුවත්පතට මවිසින් ලියන තීරැ ලිපිය

මට හිතෙන හැටි

ලෝක විනාශය, විනාශයක් නොවී නිමවිය. මට පරණ කතාවක් මතක්විය. තල් අත්තක් උඩට බෙලිගෙඩියක් වැටීමෙන් ඇතිවූ ශබ්දයට ඇහැරුන හාවෙක් හො‍‍‍ඳටම බියට පත්වී ලෝකය පෙරලෙනවා කියමින් දුවන්නට විය. කිසිම දෙයක් ගැන සොයා නොබැලූ අනෙකුත් සතුන්ද  ලෝකය පෙරලෙනවා කියමින් හාවා පසුපස දුවන්නට විය. නුවණ ඇති සිංහයෙකු සිටිනිසා සිදුවන්නට ගිය මහ විනාශයක් නැවතිනි. 2012 දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් සිදුවේයැයි සිතා බයවූ බොහෝ දෙනා කළේද හාවා පසුපස දුවගිය සතුන් මෙන් දුවන්නන් වාලේ දිවයෑමය.

මායා වරුන්ගේ දින දර්ශණය 2012 දෙසැම්බර් 21 න් අවසන් විය. එදින ලෝක විනාශයක් සිදුවේයැයි එහි සඳහන් නොවීය. මෙහිදී සිදුවූයේ මායාවරුන්ගේ දින දර්ශණය උපයෝගී කරගෙන එයින් වාසි සහ ලාබ ප්‍රයෝජන ලබාගැනීමට විවිධ පිරිස් ලෝක විනාශයක් සිදුවේයැයි ප්‍රචාරය කිරීමයි. නූතන ලොකයේ සියලුම දේට මිලක් ඇත. සියලුම දේ අලෙවිකරයි. අපට තේරෙන භාෂාවෙන් කියනවානම් හැම දේකටම මාකට් එකක් ඇත. මාකට් නොකර පන්සලට, පල්ලියට, කෝවිලට හෝ දේවාලයට වුව ජනතාව ගෙන්වා ගත නොහැක. ගුන දම්, සංස්කෘතිය, සභ්‍යත්වය, ආගම දහම, ආදී දේ පවා අලෙවි වේ.  ලෝක විනාශයද විවිධ පුද්ගලයන්ගේ ලාබ ප්‍රයෝජන උදෙසා මාකට් කළ ව්‍යාපෘතියකි. විවිධ ආගමික දේශකයන්, අනාවැකි කියන්නන්, පේන කරුවන්, මාධ්‍ය ආයතනයන්, ශාස්ත්‍රකරුවන්, විද්වතුන් සේ පෙනී සිටිමින් දේශනාකරන්නන් ආදී විවිකාර පුද්ගලයන් මෙහි පෙරමුණ ගනු ලැබීය. ලෝක විනාශයක් සිදුවේයැයි බයෙන් එය විශ්වාසකරමින් එයින් ගැලවීමට උත්සාහකළ පිරිස් සැමතැනම විය. සමහරු වතුර සහ කෑම රැස් කළහ. සිදුවන්නේ ලෝක විනාශයක් නම් කෑම සහ වතුර රැස්කිරීමෙන් පලක් නැත.  නමුත් සමහර කල්ලි මිනිසුන් තුල මරන බය ඇතිකර ජීවත්වීමේ තන්හාව ඇතිකලේය. එක්තරා නිවසක පැවති දේශනයකදී දේශකයානන් වදාල දෙයක් මට මෙහිදී මතක්වේ. ලෝක විනාශය සිදුවන බවත්, එයින් ගැලවීමට ශ්‍රී ලංකාවට සැපත්වන බවත් දේශනා කළහ. දේශකයානන්ට අනුව ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් නිසා ලෝක විනාශයෙන් විනාශ නොවේ. පුවත්වලින් දැනගත් ආකාරයට මේ කාලය තුල ශ්‍රී ලංකාවේ දරුනු ස්වභාවික විපත් සිදුවිය. මිනිසුන්ගේ බුද්ධියට නිගාකරන මෙවැනි මත පැතිරවීම ලෝක විනාශයට වඩා විනාශයකි. මෙය මිනිසුන්ගේ ආගම දහමට ඇති ශ්‍රද්ධාව, භක්තිය සහ විශ්වාස සමග සෙල්ලම් කිරීමකි.

මායවරුන් ජීවත්වූ ගෝතමාලාව සහ එ් ආශ්‍රිත රටවලට ලෝක විනාශය ලොතරැයියක් වූ බව ආරංචිය. මෙම ප්‍රදේශ නැරඹීම සඳහා සංචාරකයන් පැමිනීම නිසා එම රටවලට ආදායම් ගලාඑන්නට විය. ප්‍රංශ රජය නිත්‍යානුකූල පියවර ගන්නාතුරු ප්‍රංශයේ එක්තර ප්‍රදේශයක නිවාස සහ ඉඩම් ඉතා ඉහල මිලකට අලෙවි වීය. එම ප්‍රදේශය ලෝක විනාශයෙන් විනාශ නොවන බවට වූ ආරංචිය එයට හේතුවිය. මාධ්‍ය ආයතනවලට එම කාලයේදී එය හොඳින් මාකට් කළහැකිවිය. පේනකරුවන් සහ අනාවැකි කියන්නන්ද හම්බකරගත්තේය.

සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කළපරිදි ලෝක විනාශයක් විය හැක. එහෙත් එය සිදුවිය හැක්කේ කල්ප ගනනාවකට පසුවය. මෛත්‍රී බෝසතානන්වහන්සේ බුදුවූවාටත් පසුවය. කල්පයක් යනු අවුරුදු මිලියන ගනනාවකටත් වඩා වැඩි කාලයකි. අංගුත්තර නිකායේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ ලෝකවිනාශයක් සිදුවියහැකි ආකාරය පෙන්වාදී ඇත. සප්ත සූර්යෝද්ගමනයකින්, තේරෙන භාෂාවෙන් කියනවානම් ඉරවල් හතක් පායා ඇතිවන දැඩි රශ්මියෙන් දැවී අලුවී ලෝක විනාශයක් සිදුවිය හැක. එහෙත් එ් සඳහා තව කල්ප ගනනක් ඇත. සංසාරයේ සැරිසැරීමට සිදුවනු ඇත. එ් අතරතුර නිවන් අවබෝධකරගැනීමටද හැකිවනු ඇත.


මේ ලබන මනුෂ්‍ය ආත්මය තුල අපට ජීවත්වීමට ඇත්තේ ඉතා සුලු කාලයකි. අප කළ යුත්තේ තණ්හාව ඉවතදා සමාජයට බරක් නොවී දැහැමි ජීවිතයක් ගත කිරීමය. ආගම දහම, සාරධර්ම, ආදී එකී මෙකී නොකී සියලු දෑ අලෙවිවන නූතන ගෝලීයකරණ යුගයේදී අප කලයුත්තේ එලඹි සිහියෙන් ජීවත්වීමය. අන්ධ භක්තිය විනාශයටම හේතුවේ.

මේ මට හිතෙන හැටිය.

 මේ වගට ගුරා.