Friday, November 30, 2018

බිරිඳ මගේ නුඹ (කවි)


බිරිඳ මගේ නුඹ

බිරිඳ මගේ නුඹ මේ දිවිගමනේ
සෙවනැල්ලක් සේ ලඟ හිඳිනා
සොඳුර මගේ නුඹ සසර සරනතුරු
මා හා එක්වී සැරි සරනා
දිනිඳු නුඹ මට එලිය දෙවනා
සඳකි නුඹ මට සිසිල දෙවනා

මවකි නුඹ මට ලමැද හොවලා
සෙනෙහෙ වඩලා වියොව නසනා
විලකි නුඹ මට නිමල දියපිරි
මගේ දිවියේ පවස නිවනා
මගේ දෙවොලේ පිදෙන දෙවඟන
නුඹයි සිරිකත නිවසෙ දිලෙනා

අමිල සෙනෙහෙස පිදුව නුඹ මට
බැඳුනදා රන් හුයෙන් දෑඟිලි 
නිමල පිය සෙනෙහසක උරුමය
උදාකළෙ දූ කුමරියන් දී
කඳුල සුසුමද ගතේ රිදුමද
නිවයි  විකසිත සිනාමල් මුව
තුමුල මහමෙර විලස නොසැලී
දිරිය දෙන නුඹ ලඳකි පින්බර
                                           
 ආචාර්ය ජගත් රූපසිංහ

Monday, November 19, 2018

ආ ගිය කතා කැම්පස් කුරැටු ගී

කුරුටු ගානව කියන්නෙ යමක් ලියන විට තේරුමක් ඇතිව හෝ නැතුව යම් යම් අකුරු හෝ රූප හෝ නිකන්ම නිකන් ඉරිකැලි ආදිය ලිවිම හෝ ඇඳීමයි. සමහර වෙලාවට ලියනලද හෝ අඳින ලද දෙයක් තවත් කාටවත් තේරෙන්නෙ නැති විදිහට එහෙන් මෙහෙන් ඉරි ඇඳලදාන එකටත් කුරුටු ගානව කියල කියනවා. ඒ වුනත් කුරුටු ගී කියන්නෙ තේරුමක් ඇති දෙයක්. එතනදිත් වෙලා තියෙන්නෙ කලින් සැලසුම් නොකර ඒ ඒ වෙලාවට දැකපු දේ ගැන, හැඟිම් ගැන හිතට ආව දේ කවියකින් හෝ පද දෙකතුනකින් ලියා තැබිම. එලිවැට එලිසමය තියල හතර පදය සම්පූර්ණකල කවි මෙන්ම නිසදැස් ආරෙ කවිත් කුරුටු ගීවල දක්නට ලැබෙනවා. කුරුටු ගී කියපුගමන් අපේ මතකයට එන්නෙ සිගිරියේ කැටපත් පවුරෙ ලියල තියෙන කුරුටු ගී. ඒවායේ තියෙන්නෙ අතිතයේදි සීගිරිය නරඔන්න ආව විවිධ අය තමන් ට හැඟුන දේ, දැනුන දේ ප්‍රකාශ කිරීම. සීගිරි අප්සරාවන් වර්ණනා කිරිම් ද මේවායේ දක්නට තියෙනවා. මේව ලියපු අය කවියන් ලෙස ප්‍රසිද්ධවු අය නොවෙයි. ඒ ඒ ස්ථානවලටගිය සංචාරකයෝ හෝ නරඹන්නො නැතිනම් එවැනි ස්ථානවල ඡිවත්වු අය.
සීගිරි කුරුටු ගී කියවල ඒවා තේරුම් කරල දුන්නෙ, ඒ සම්බන්ධව ලිව්වෙ ඒවා ලෝකයට හඳුන්වාදීමට මූලිකයාවුනේ අපේ රටේ හිටිය ලෝක ප්‍රසිද්ධවූ පුරාවිද්‍යාඥයා වුන මහචාර්ය සෙනරත් පරණවිතාන සූරින්. පසු කලෙකදි දැනට ඇමරිකාවේ සරසවියක සේවයකරන මහාචාර්ය බෙවින්, සීගිරි කුරුටුගී සියගණනක් කියවල තේරුම්කරල පොතක් වශයෙන් පළකරල තියෙනවා. මම පානදුර ශ්‍රී සුමංගල විදුහලේ  උසස්පෙල ඉගෙනගන්න කාලේ මහාචාර්ය බෙවින් ඉගෙනගත්තෙ මට වඩා එක් පන්තියක් ඉහල ඡිවවිද්‍යා පන්තියෙදි. මට මතකයි ඔහු ඡිවවිද්‍යව කරන ගමන් ඒ කාලෙත් පාසලේ සාහිත්‍ය සඟරාව වන සුමඟුල් හඬ සඟරාවට සීගිරි කුරුටු ගී නමින් ලිපියක් ලිව්වා. මම හිතන්නෙ පසුකලෙක ඔහු ඡීවවිද්‍යාව අතහැරල ඉතිහාසය පුරාවිද්‍යාව ගැන අධ්‍යයනය කරල ඒ සම්බන්ධව මහාචාර්ය වරයෙක් වෙන්න ඇති. 

සීගිරි කුරුටු ගී ගැන පටන් අරගත්තට අද මම කියන්න යන්නෙ පසුකලෙක ලියවුන වෙනත් ආකාරයක කුරුටු ගී ගැන. ඒවා තමයි කැම්පස් කුරුටු ගී. කැම්පස් ගැන කතාකලොත් ලංකාවේ කැම්පස් වල ඉගෙන ගන්න ශිෂ්‍යයෝ තරම් බැණුම් අහන කට්ටියක් ලෝකේ කොහේවත් නැතුව ඇතැයි කියල හිතෙනවා. හොඳ වැඩක් කරන්න ගියත්, වැරදි දෙයක් කලත්, මොනව කළත් බැණුම් වලින් අඩුවක් නෑ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය රැකගන්න සටන් කලත්, පුද්ගලික දේශපාලන වාසි තකා සටන් කලත්, හොඳක්නම් අහන්නෙ නෑ. බනින අයත් විවිධයි. සමහර දේශපාලකයෝ ඔවුන් සරසවි ඉගෙනගත්තබවත්, ශිෂ්‍යව්‍යාපාරවල නායකයො වෙලා හිටිය බවත්, අමතකකරල දේශපාලන වාසි තකා බනිනවා. තවත් කට්ටියක් ඉන්නවා කිසිම දෙයක් නොදැන වෙනත් අය බනින නිසා බනිනවා. සමහරවෙලාවට ඉරිසියාව නිසා වෙන්නත් පුලුවන්. මෙහෙම බනින සමහරක් වැස්සකටවත් කැම්පස් ගිය නැති අය.
කැම්පස් ඇතුලෙ ඒකටම ආවේණික වෙච්ච උප සංස්කෘතියක් තියෙනවා. ඒවත් සමහර වෙලාවට කැම්පස් එකෙන් කැම්පස් එකටත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. කැම්පස් එක ඇතුලෙත් සමහර වෙලාවට පීඨ මට්ටමෙනුත් තවත් සුලු වෙනස්කම් තිබෙනවා. ඉන්ඡො, මෙඞ්ඩො, ඇග්‍රො, වෙටාල, ආර්ටො කියල පීඨවල නමින් හැඳින්වෙන අය අතරත් හැසිරෙන වැඩකරන විදිහෙ සුලු සුලු  වෙනස්කම් තියෙනවා. සමහර උප සංස්කෘතික දේවල් කාලයත් සමගම වෙනස් විමටද බදුන්වෙනවා. හැටේ හැත්තෑවේ දශකයෙ විදිහට නොවෙයි අසුව අනුව දශකවල සිතුම් පැතුම් සහ වැඩකල ආකාරය. දැන් බොහෝ දේ තවත් වෙනස්වෙලා. කාලයෙන් කාලයට උපසංස්කෘතිය තුල විවිධ දේ හැඳින්වීමට බාවිතාවන වචනත්, අදහසුත්, ලියන ශෛලියත් වෙනස්වුනත් කැම්පස්වල දක්නට තියෙන දෙයක්තමයි කැම්පස් කුරුටු ගී. මේවා ලියන්න කැටපත්පවුරක් නැතිවුනත් නේවාසිකාගාරවල දේශණශාලාවල කැන්ටිම්වල ඩෙස්ක් බංකු පුටුවල මේව ලියල තියෙනවා. මේවාගේ කතෘවරයෙක් සොයාගන්න නෑ. තමතමන් ගේ හිතට නැගුන අදහස් ලියල තියෙනවා. පොදු ප්‍රශ්න ගැන, පුද්ගලික දේවල් ගැන ලස්සනට ලියල තියෙනවා.
කැම්පස් කුරුටු ගී ගත්තම ඒවා විවිධ පොදු මාතෘකා යටතේ තමයි ලියවිල තියෙන්නෙ. මම මේ ලියන්න යන්නෙ කැම්පස් කුරුටු ගී ගැන සමාඡ විද්‍යාත්මක විශ්ලේෂනයක් කියල හෝ අධ්‍යයන පර්යේශණ පත්‍රිකාවක් කියලනම් හිතන්න එපා. විශය පිළිබඳ උගත්තු ඒ ගැන ලියල තියෙනවා. මම කරන්නෙ විවිධ මාතෘකා යටතේ ලියවුන කැම්පස් කුරුටු ගී කිහිපයක් ඔබේ දැනගැනිමට සහ රසවින්දනයට ඉදිරිපත් කිරිම. මේවායේ කැම්පස් එකේ අයගෙ ෂිතුම් පැතුම් එක්කම උපහාසය සහ හාස්‍යයත් ගැබ්වෙලා තියෙනවා.

කැම්පස් එකේ ඉන්න සමහර අයට තියෙන එක් දැවෙන ප්‍රශ්ණයක් තමයි විභාගවලින් ගොඩයන එක. සමහරුනම් බ්‍රයිටො. විශේශ පාඩම්කිරිමක් නෑ. වැඩිය නැහෙන්නෙ නෑ. වෙලාවට ගිහින් විභාගෙට නියමෙට ලියනවා. තවත් අය හොඳ ක්‍රෑමො. ඒ කියන්නෙ පනදාගෙන, මැරිගෙන පාඩම් කරනවා. සමහරවෙලාවට කටපාඩම් කරනවා. මේ අතරෙ බැරි අයට කියාදෙන උදව්කරන පිරිසකුත් ඉන්නවා. සමහර කැම්පස්වල කුප්පි දානවා කියන්නෙ ඒකට. දන්න එකෙක් අනිත් එවුන්ව විභාගෙන් ගොඩදාගන්න අවශ්‍ය දේ කියල දෙනවා. කුප්පි දැමීම හුඟක් වෙලාවට වෙන්නෙ විභාග ආසන්නම කාලවල. විභාගවල අමාරුකම්, දේශණ වල අමාරුකම්, ලෙක්චර්ස් ලගෙ දේශනවල තියන ප්‍රශ්ණ ආදි ලෙස අධ්‍යයන කටයුතුවලට සම්බන්ධව ලියවුන කුරුටු ගි ටිකක් පලමුව ඉදිරිපත්කරන්නම්. මේව ලිවුවේ මොන සරසවියෙද කියල කියන්න යන්නෙ නෑ. ඒ වගේම ඒව තෙරුම් කරල දෙන්න අදහසකුත් නෑ. කියවනවිටම ඔබට වැටහෙයි මොනව ගැනද කියන්නෙ කියල.

1. සිරිපාලගෙ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරණාව
මාඡි ගැනයි කල්පනාව

2. ධනපති පංතියෙන් පැන පැන අරගත්තු
කළා පීඨ අධිපති ............................................
තම නිළ බලය ගිනි අවියක් කරගත්තු
නොමරා මරනවා සරසවි දූ  පුත්තූ

3. නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත

4. ලෝක සංවර්ධනය
වේගයෙන් සිදුවෙලා
පැය දෙකේ දේශණය
පැයෙන් අහවර වෙලා
ඊට වැඩි වේගයෙන්
සර් යයි නික්මිලා

5. එස්එස් සි විනාශාය
සම්මානො අතිදුර්ලභං
රැකියා විරහිතං දුක්ඛං
බී ඒ ඩිග්‍රී මහා භයං

6. ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම
කෙලෙසද තබාගන්නේ එක තැන මනස
උස් අඩි සපත්තුත් පලඳාගෙන සොඳින
මිස්ගෙ රුවට බිඳවයි මගෙ හද දැහැන

ඊලඟට තියෙන්නෙ ප්‍රේමයට අදාල කුරුටු ගී. ඒවා එක එක ආකාරයේ කවි. තමන්ගෙම පුද්ගලික අත්දැකිම් හෝ යාලුවෙකුගෙ බැචෙකුගෙ අත්දැකිමක් වෙන්නත් පුලුවන්. ප්‍රේමකරල පැරදුන එකා ඒකෙ විරහව ගැන හෝ තමන් බේරුණාවගේ අදහසින් කවිලියනව. තවත් එවුන් ප්‍රේමය ඉල්ලන්න ගිහින් වැඬේ හරිනොගිය දුකට කවිලියනව. සාමාන්‍යයෙන් කැම්පස්වල ප්‍රේමයන් පටන්ගන්නෙ සිනියර් බැචාල සහ ඡුනියර් බැචිල අතර. අලුතෙන් නැව ආවම ඒ කියන්නෙ අලුතෙන් ශිෂ්‍ය කන්ඩායමක් ආවම ඡේෂ්ඨ බැචාල නවක සොයුරියන්ව යාලුකරගන්නව. එකම බැච් එකෙත් ප්‍රේම සබඳතා ඕනතරම් තියෙනවා. යාලුකරගන්න ගිහින් වැඬේ හරිනොගිහින් ඇන ගත්ත අය විරහ කවි ලියනවා. තවත් සමහරු කෙල්ලෙකුට ආස වුනාට අහන්න ගට නැතිව සිතින් හුල්ල හුල්ල ඉන්නවා. එහෙම ඈයොත් කුරුටු ගි ලියනවා.

1. අහෝ කොස්ස
අතුගා දමනු ඔය කතුර
පිරිසදුකරව ඔය සිත
කොස්ස  පෙම්වතා  කතුර  පෙම්වතිය

2. කමිසය මගේ කලිසම වෙන කාගේය
බැනියම මගේ යට ඇඳුමත් ගමනේය
පසුදා හිඟයි ධනපති මහපොළ දාය
කෙල්ලෙක් නෑනෙ මම තාමත් තනිකඩය

3. සෙනෙහස දුකක්
අපමණ බරක්
අදමෙන් හෙටත්
මේ දුක දුකක්

4. අවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අපහට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

5. සයිකො ගසා මම ගිය  කළ ඇය වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට

6. පහන් කනුව මම
දැවි ගිය විදුලි බුබුල ඇය

7. මුල්ම දින දුටුවා අහිංසක මුහුණ
මම හිතුනා හා පැටියෙකි කියා
ඔබ රැවූ විට දුටුවා
 රදනක දත් දෙකම ඔබ
 වැටහුනා හැම කොටියටම පුල්ලි නොමැතිබව
 තේරුණා මා කරපු මෝඩකම
හැරෙනු බෑ දැන් කොටි කටක් ළඟ

8. ඉවසනු දනා රුපු යුධයට ඡය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වුනු එවුන් හට කොකු හත අටය
ඉවසපු නිසා මම තාමත් තනිකඩය

9.සොරෙකු ඉල්ලන්නේ මුදල් හෝ ඡිවිතයයි
ගැහැණිය මේ දෙකම ඉල්ලයි

කැම්පස් කුරුටු ගී වල ලියවෙන තවත් දෙයක් තමයි නේවාසිකාගාර ඡිවිතය. ගෙවල් වලින් ඈත්වෙලා සරසවි නේවාසිකගාරවල හෝ පුද්ගලික නිවාස වල බෝඩිම් වෙලා ඉන්න කොට එන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සුඛ සොම්නසයන්ද කුරුටු ගි වෙනවා.

1. රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් පොෂ් බඩු දා ගත්තා
පේර එවුන් ලව් එක ගැන සිත බැන්දා
මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා

2. ක්‍රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
උතේ සතේ නැතිවිට බඩගිනි වෙන්න එපා
මෙදාපොටේ එග්සෑමය ඇනෙනු එපා
යලිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

3. කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
ඛමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුවගියා නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවදා හමුවෙද ඡ‘පුරේ

4. සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
අම්මා දනිනම් මේ සරසවියෙ තතූ
වර බොල කොළුවො යැයි දෙනෙතින් කඳුළු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ


5. ගමේ හොල්මන් නොදුටු මේ මං
මෙහේ හොල්මන් දැකල හොල්මං

 6. එන්නේ කැම්පසුයි හොස්ටල් එකේ සිට
ඛන්නේ වතුර බත් කැන්ටිමේ සිට
මාසගනන් නැත දියබිඳු නාන්නට
මේ දිවිකතර දුක් උහුලන්නෙ කුමට

තවත් අවස්තාවක් තමයි කැන්ටිමේ කෑම ගැන, බෝඩිමේ කෑම ගැන හිතට එන අදහස් දක්වන කුරුටු ගි. එක් කැම්පස් එකක කැන්ටිමේ මුදලාලි කෙනෙක් හිටිය කිසිම දවසක මුහුනෙ හිනහවක් නැ හරියට හිනා නහරෙ කපල දාල වගෙයි. කතා කලොත් අඬ ඇඬියාවමයි.

1. කැන්ටිමේ පල් වෙච්ච
හොද්ද ගා පාං කා
ශිල්ප කලත් හත් අවුරුද්දක්
බඩපනුවොත් නිදැල්ලේ ෆුට්බෝල් කෙළිනවා

2. පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංඡන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසුවේවා


3. බඩගිනිවෙලා මා ගිය කළ ඡිම් එකට
ගල්වුන වඬේ විතරක් තිබුණි කෑමට
කූල් ප්ලේන්ටිය උගුරෙන් යන කලට
තූ නොදකින් සිතුන විඳිනා දුකට

පවතින දේශපාලන තත්වය පිළිබඳව සරසවිසිසුවන්ගේ කාර්යභාරය ගැන, සිසු සටන්වල කටුක බාවය ගැන, උපාධිය ඉවතලා යුක්තිය වෙනුවෙන් සටන් වැදිම ගැනද කුරුටු ගී සරසවිවල තැන්තැන්වල ලියාතිබෙනවා.

1. ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නොමැතිව සරසවි වැසී ඇත


2. ඉරුණු වැරහැලි ගතේ එල්ලා
කුසේ ඇති ගිනි හිතේ අවුලා
එරෙහි වුනු මුලු ලොවම හොල්ලා
නුඹටහිමි උරුමයන් ඉල්ලා
අකුරු සිරකර පවුරු බිඳලා
අලුත් ගමනක් අරඹපල්ලා

3. තබන තබන වෙඩි ආපිට හැරීයන්
මරණ මරණ මිනියට පණ ලැබීයන්
ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්

4. අසාධාරණයෙහි අඳුර බිඳින්නට
හිරුපායන තුරු හිටියා ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු

5. නොහඬන් සරසවිය සලමින් කඳුලු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරිගෙට


ෂිගිරි කුරුටුවලින් ආරම්බකරල කැම්පස් කුරුටු ගී වලින් අවසන් කරද්දි අතරමගදි තව තවත් අමතර කතාවන්ද ලියන එකට ඈඳවන්නට සිදුවුනා. ඒකෙන් කියවන කෙනාට පාඩුවක් හෝ තේරුම් ගැනිමට අපහසුතාවයක් ඇතිවුනා යයි හිතෙන්නෙ නෑ. ආගිය කතා කිවුවට මේ ලිපියෙන් ටිකක් වැඩිපුර විස්තර කියන්න සිදුවුනා. අසන දකින හමුවන චරිත හා සිදුවිම් තමයි මෙම ආගිය කතාවලට පාදක වන්නේ. අදට අවසරයි.

Wednesday, November 7, 2018

කවි




මතකයේ මාවතේ

නිලට දිලි ගුවන් ගැබ
කළුවලාවෙන් වැසී
පටන් ගත් මද වැස්ස
නාකපන වැහිවෙලා

හෙනහඩින් ගැස්සිලා
සලිත වු අහස් කුස
විදුලි රේඛා මවා 
සොඳුර ැ සිත්තම් අඳී

කිතිකැවී හද ඔකඳ වී සිත
මතකයේ මාවතේ
ඇසිල්ලෙන් නික්ම ගොස්
ඔබේ ලඟ නැවතිලා

ආ ගිය කතා

සිත්තම්


                                           දයාබර මේපල්,

ශිත කාලයෙ වෙන්ව යන්නම්
ඔබේ පාමුල නිහඞවන්නම්
ඔබට ශක්තිය ලබාදෙන්නම්
වසන්තයෙ යලි ලඟට එන්නම්


                                                                 මා ඔබේ පත්‍රිකා

Friday, December 16, 2016

කොලම - 2016 දෙසැම්බර්

ශීතල ඇගට දැනෙන උඳුවප් මාසය හෙවත් දෙසැම්බර් මාසය උදාවී ඇත. කිතනු බැතිමතුන් සමග එක්ව මුලූ ලෝකයම ඡේසු තුමාගේ උපත සමරන නත්තල මාසය මෙයයි. අප සැම හොඳින් දන්නා කිතු දහම හා බැඳුනු කියමනක් නැතිනම් පණිවිඩයක්  ඇත. අසල්වැසියාට පේ‍්‍රමකරන්න. මේ කියන්නේ අල්ලපුගෙදර එකා හෝ එකී සමග නියම හෝ අනියම් ආකාරයේ පේ‍්‍රම සම්බන්දයක් පවත්වා ගන්න කියා නොවේ. ඔබ සමග ගැවසෙන ඔබ ඇසුරු කරන සමාඡයේ සියලූ දෙනාවෙත ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් යුතුව මිත‍්‍රශීලීව කටයුතුකරන ලෙසය. බුදුදහම අනුවද සියලූදෙනා වෙත මෛති‍්‍රය වැඞීමට අප හුරුවී ඇත. අද වනවිට සමාඡයට මෙම සිතුවිල්ල ඉතාමත් අවශ්‍ය වී ඇතැයි යන්න මගේ හැගීමයි. වේගයෙන් ඉදිරියට ඇදෙන එකිනෙකා පරයා ඉහලනැගිමට වෙරදරන භෞතික දේට වැඩිඉඩකඩක් වටිනාකමක් ලබාදෙන නූතන සමාඡුයේ අප අවට වෙසෙන අප ලඟින් ඇසුරුකරන නොකරන සියලූදෙනාට කරුණාවෙන් ලෙන්ගතුව සැලකීම වෙනදාටත් වඩා අද අත්‍යවශ්‍ය වී ඇත. විවිධ වූ ප‍්‍රශ්ණ මැද දිවිගෙවන සමාඡයේ ඉක්මන් කේන්තිකාරයන් යමක් ඉවසාදරාගත නොහැකි විරුද්ධ මත වලට සවන්දිය නොහැකි පුද්ගලයන් වැඩිවෙමින් පවතිනවා යැයි සිිතේ. අපේ විදියට කියනවානම් හොස්ස ලඟින් මැස්ස යාම ඉවසාදරාගත නොහැකි කුකුල් කේන්තිකාරයන් නිසා බොහෝ ව්‍යසන වියවුල් සිත් තැවුල් ගැටලූ හැලහැප්පිලි ඇතිවේ. සමාඡුයේ සියලූ කාරණාවලදි මෙය දක්නට ලැබේ. පාරේ ගියත් වාහනයක් එලෙව්වත් කඩයකට ගියත් දේශපාලන කතාබහවලදිත් සුහද හමුවලදිත් පොදුකටයුතුවලදිත් ඉවසිමක් නොමැතිකම පැහැදිලිව දක්නට ලැබේ. අසල්වැසියාට පේ‍්‍රමකරනවාතබා අනුන්ගේ මතයක් ඉවසාදරාගැනීමට නොහැකි අය අප අතරේ ඇත. සමාඡ දේශපාලනික ප‍්‍රශ්ණවලදි සමහරු ඉතාමත් පටු පුද්ගලික මට්ටමින් සිතා තමන්ගේ ඉතාමත් කිට්ටු හිතවතුන් සමග තරහවේ. කතානොකර සිටියි. හැමදේම තමාදමාගත් කණ්ණාඩියේ පාටින් බලන්නට පුරුදුවේ. අනෙකාගේ දේ හෙලාදකියි. අවමානයට පත්කරයි. අන් මතය නොඉවසයි.අවසානයේ ලබන දෙයක් නැත. සිදුවනුයේ හිතවතකු අහිමිවීම පමණි. වාදවිවාද වලදි තම මතය කීවද අනුනට රිදවීම අනුවණ කමකි.

සමහරු සැමවිටම බලනුයේ කා සමග හෝ කොක්කක් දාගැනිමටය. පැටලීමටය. දෙවැනිවිමක් මදිකමක් ලෙස සලකයි සෙකන්ඞ් වෙන්න අකැමතිය. සුලූදේට ගහමරාගනියි. අදවනවිට වාහනපැදවිමෙදි මාර්ගවලදි විවිධ පුද්ගල ඝට්ටන ඇතිවීමට හේතුව අනෙකාට ආදරය කරුණාව නොමැතිවීම සහ අනෙකට ඉඩනොදි තමා ගැනම සිතීමයි. රථ ගාල්වලදි වාහනය නවතාගැනීමට ඉඩක් ලබාගැනීම සඳහා තරගයක යෙදෙයි රණ්ඩුසරුවල් ඇතිකරගනියි. ඉවසීමක් නැත. අසල්වැසියාට කරුණාවක් මෛති‍්‍රයක් හෝ නොදක්වයි. අවස්තාවක් නොදෙයි.

සමහරු ගෙවල්වලින් පිටවන්නේ නොයෙකුත් ප‍්‍රශ්ණ ගැටලු හිතේ තදකරගෙනය. මේ ගැටලූ කැකෑරෙන ප‍්‍රශ්ණ  කුණු ගොඩවල්වාගේය. සුලූ සිද්ධියකදි පවා තමන්ගේ ගැටලූ මුදාහරියි. තමන්ගේ කුණුගොඩවල් අනුන්ගේ ඇගට දමා ගසයි. අනෙකාට පහරදිමට වුව පසුබට නොවේ. අප එයට කුණුබක්කියක් නොවියයුතුය. කෙනෙක් රවයිනම් ගොරවයිනම් හොඳම දේ එතනින් මාරුවීමය. එය නිවටකමක් නොව අවස්තාවට උචිත වැඩක්වේ. අනුන්ගේ ප‍්‍රශ්ණ කුණු අපේ ඇගට හැලිමට ඉඩනොදියයුතුය. එසේම අපේ ප‍්‍රශ්ණ අනුන්ට කරදරයක් නොවිය යුතුය. නරක දේ පෙන්වාදිමේදි වුව අනෙකාට රිදෙන සේ කිරීමට සුදුසු නොවේ. ප‍්‍රශ්ණ ඇතිවිට මිනිසුන්ගේ හැසිරීම සාමාන්‍ය තත්වයටවඩා බොහෝ වෙනස්ය. සමහර අය නිකරුණේ හේතුවක් නොමැතිව මිනිසුන් සමග ප‍්‍රශ්න ඇතිකරගන්නාවිට මේ මනුස්සයා අද ඇඳේ වැරදි පැත්තෙන්නැගිටලද කොහෙද කියා සමාඡයේ කියන්නේ මේ නිසාය.

තරගකාරි සමාඡයේ දී මෛති‍්‍රය කරුණාව ආදරය අත්‍යාවශ්‍යවේ.  සුලූ දේවලට අමනාපවීම අණුවණ කමකි අප ‍ඡීවත්වන්නේ ඉතා සුලූකාලයකි. නත්තල් හැට හැත්තෑවක් සැමරීමට පමණක් වාසනාව තිබිය හැක. ලගදි මා ඇසු කතාවකටඅනුව මේ සුලූ කාලයෙන් වැඩි කොටසක් නිදාගැනිමට සහ අනවශ්‍ය නඩුහබවලට සහ වාදවිවාදවලට ගතවෙයි. ජීවිතය විඳවියයුතු නැත. එය වින්දයුතුය. එනිසා ජීවත්වන කාලයතුල අනුන්ට කරුණාව දයාව මෛති‍්‍රය දැක්විම සුදුසුවේ. එක් හොඳ වචනයකින් කි‍්‍රයාවකින් මිනිසුන්ගේ හිත්සුව වනු ඇත. අසල්වැසියට පේ‍්‍රමකරන්න. මිත‍්‍රශීලිවන්න. උදව්කරන්න. අනුන්ගේ කුණු වලට කුණුබක්කියක් නොවන්නාසේම අපේ කුණුවිසිකිරීමට අසල්වැසියා කුණුබක්කියක් කරනොගන්න. සැමට සුබ නත්තලක් වේවා.