සාදත් හසන් මැන්ටො (Saadat Hasan Manto) නමැති පකිස්ථානු ලේඛකයා විසින් උර්දු බසින් රචනා කරන ලද මේ කෙටි කතාව එම්. අසාඩුඩින් (M. Asadudin) විසින් “open it” මැයෙන් ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලදි. මේ එහි සිංහල අනුවාදයයි.
බලාපොරොත්තුව
දහවල් දෙකට අම්රිත්සාර් නගරයෙන් පිටවූ විශේෂ දුම්රිය පැය අටක දීර්ඝ ගමනකින් පසු මෞගල් නගරයට ළඟා විය. අම්රිත්සාර්හි ජාතිවාදී කලබල නිසා නගරය අතහැර පලායන්නවුන් ගෙන් දුම්රිය පිරී තිබිණි. දුම්රියේ ගමන අතිශය අවදානම් විය. මඟීන් ගේ මුහුණුවල වූයේ මරණයේ බිය සේ ම එයින් මිදීමේ බලාපොරොත්තුව යි. ගමන අතර මඟ දී ද ජාතිවාදීහු දුම්රියට කඩා වැදුණහ. බොහෝ මිනිසුන් දුම්රිය තුළ ම මරා දැමිණි. තවත් පිරිසකට තුවාල සිදුවිය. ජීවිත ආසාවෙන්, බොහෝ දෙනෙක් දුම්රියෙන් පැන හිස් ලූ ලූ අත දිව ගියහ.
දහවල් දෙකට අම්රිත්සාර් නගරයෙන් පිටවූ විශේෂ දුම්රිය පැය අටක දීර්ඝ ගමනකින් පසු මෞගල් නගරයට ළඟා විය. අම්රිත්සාර්හි ජාතිවාදී කලබල නිසා නගරය අතහැර පලායන්නවුන් ගෙන් දුම්රිය පිරී තිබිණි. දුම්රියේ ගමන අතිශය අවදානම් විය. මඟීන් ගේ මුහුණුවල වූයේ මරණයේ බිය සේ ම එයින් මිදීමේ බලාපොරොත්තුව යි. ගමන අතර මඟ දී ද ජාතිවාදීහු දුම්රියට කඩා වැදුණහ. බොහෝ මිනිසුන් දුම්රිය තුළ ම මරා දැමිණි. තවත් පිරිසකට තුවාල සිදුවිය. ජීවිත ආසාවෙන්, බොහෝ දෙනෙක් දුම්රියෙන් පැන හිස් ලූ ලූ අත දිව ගියහ.
අනාථ කඳවුරේ බිම වැතිරී සිටි සිරජ්ඩීන් උදෑසන දහයට පමණ ඇස් විවරකර අවට බැලී ය. ගැහැනු, පිරිමි, ළමා ළපටි රැසක් ඔහු වටා සිටියහ. එහෙත් ඒ කිසිවකු ඔහු ගේ දෑසට හසු නොවිණි. ඔහු බිම වැතිරී ව බොහෝ වේලාවක් හිස් අහස දෙස බලා සිටියේ ය. අනාථ කඳවුර තුළ වූ මිනිසුන් ගේ ඝෝෂාව ඔහුට නෑසුණි. ඔහු ගේ කන් අගුළු වැටී ඇත. ඔහු දිගු කල්පනාවකට වැටී ඇති බව කඳවුරේ මිනිස්සු සිතූහ. සැබැවින් ම, ඔහුගේ සිතුම් පැතුම් සහ හැඟීම් මිය ගොස් තිබුණි. ඔහු අවකාශයේ අතරමං වූවෙකු මෙනි.
හිස් අහස දෙස බලා සිටි සිරජ්ඩීන් ගේ දෑස් නිලංකාර විය. හිරු රශ්මිය සිරුර දවන්නට වූයෙන් ඔහු වහා සිටගත්තේ ය. විවිධ වූ මතකයන් ගෙන් ඔහුගේ මනස විකාර වන්නට විය.
“ඝන අන්ධකාරය, ගිනි තැබීම්, වෙඩි හඬ, පිළිසරණ පතා දිව යන මිනිසුන් සහ සොඳුරු දියණිය සකිනා”
“සකිනා”, තොල් මැතිරූ සිරජ්ඩීන් මිනිස් සාගරයක් බඳුවූ කඳවුර තුළ පිස්සකු මෙන් ඇවිදින්නට වී ය. සකිනා ගේ නම කියමින් කඳවුර පුරා ම දිවයමින් පැය ගණනාවක් ම දියණිය සෙව්වේ ය. මහන්සිය නොතකා බලාපොරොත්තු සහගතව සෙනඟ අතරින් දිව ගියේ ය. තම එක ම දියණියගේ හෝඩුවාවක්වත් නැත. හැම තැන ම වූයේ හැඬීම් ය. වැලපීම් ය. නැතිවූ මව්වරුන්, පියවරුන්, දරුවන්, නෑදෑයන් සොයමින් වැලපෙන මිනිසුන් ගෙන් කඳවුර පිරී ඇත.
බලාපොරොත්තු සුන් වූ සිරජ්ඩීන් නැවතත් බිම වැතිරුණි. ඔහු දියණිය තමා ගෙන් වෙන්වූ වේලාව පිළිබඳ මතකය පිරිමදින්නට විය. ඔහුගේ මතකයට ආවේ එක් දෙයකි. ඒ සකිනා නොව බිරිඳගේ දේහය පිළිබඳ මතකය යි. බඩවැල් එළියට ඇදී තිබු තම ආදර බිරිඳගේ අප‍්‍රාණික දේහය යි. තව දුරටත් මතකය අලුත් කිරීමට ඔහුට නොහැකි ය. ඔහු නැවතත් දෑස් පියාගත්තේ ය. සිදුවීම් වැලක් සිහිනයක් සේ ගලා ආවේ ය.
සකිනා සහ ඔහු පලායමින් සිටියේ ය. ඇගේ ළැම වැසු සළුව ගිලිහුණි. එය අහුලා ගැනීමට ඔහු නැවතුණේ ය.
“දුවන්න, දුවන්න, සළුව තිබුණාවේ” සකිනා කෑගැසුවා ය. එහෙත් ඔහු නැවතී සළුව අහුලා ගත්තේ ය. ඒ මතකයන් සමඟ ම ඔහුගේ අත කබායේ සාක්කුව වෙත යොමුවූයේ නිතැතිනි. සකිනාගේ සළුව ඇත. සකිනා කොහේද? ඔහු සිතට නැවතත් වදකරනා ප‍්‍රශ්නයකි.
“සකිනා සමග ඔහු දුම්රිය පොළට පැමිණියා ද?”
“දුම්රියට ගොඩවූවා ද?”
“දුම්රියට ජාතිවාදීන් ඇතුළු වූ අවස්ථාවේ ඔහු සිහිසුන් වූ විට ඔවුන් සකිනා රැගෙන ගියා ද?”
සිරජ්ඩීන්ට කිසිවක් සිතාගත නොහැකි විය. උත්තර නොමැති ප‍්‍රශ්න වැලක් ඔහුගේ සිතේ හිරවී ය. ඔහුට තමා ගැන ම අනුකම්පාවක් ඇතිවිය. හඬන්නට වැලැපෙන්නට අවශ්‍ය වුවද සියලු ම කඳුළු ගංගා සිඳී ගොසිනි.
අනාථ කඳවුරේ දින හයක් හතක් ගෙවී ගියේ ය. සිරජ්ඩීන් ගේ සිතෙහි වූ කම්පනය ටික ටික අඩුවන්නට විය. දියණිය සොයා ගැනීම සඳහා උදව් කිරීමට කඳවුරේ තරුණ පිරිසක් එක්වූහ. තරුණ කල්ලිය අට දෙනෙකි. තුවක්කුවලින් සන්නද්ධ වූ ඔවුන් සතුව ලොරියක් ද විය. සිරජ්ඩීන් තරුණ පිරිසට දෙවියන් ගේ ආශිර්වාදය පැතී ය.
“දරුවනේ ඇගේ නම සකිනා. මා වගේ නොවෙයි. ඇය ඇගේ අම්මා වගේ ලස්සනයි. ඇයට වයස අවුරුදු දහහතරයි. කොණ්ඩය කොටයි. පි‍්‍රය මනාපයි. දකුණු නිකටේ ලොකු ලපයක් තියෙනවා. ඇය මගේ එක ම දියණිය. අනේ ඇය ව හොයා දෙන්න. නුඹලාට දෙවි පිහිටයි.” සිරජ්ඩීන් තම දියණිය පිළිබඳව තරුණයන්ට පැහැදිලි කළේ ය. තරුණයන් ඔහුව අස්වසාලී ය.
“ඇය ජීවත්ව සිටී නම් දින කිහිපයකින් ඇය ඔබ ළඟ” තරුණයෝ ඔහුට පොරොන්දු වූහ.
ජීවිතය පරදුවට තැබූ තරුණ පිරිස අම්රිත්සාර් නගරය බලා පිටත් වූහ. බොහෝ ගැහැනුන්, පිරිමින් සහ ළමුන් බේරාගත් ඔවුහු සියලු දෙනා ම කඳවුර තුළට ගෙන ආහ. දින දහයක් පමණ ගෙවුණ මුත් ඔවුන්ට සකිනා මුණ නොගැසුණි. තරුණයෝ පසුබට නොවූහ. ඔවුහු සකිනා පිළිබඳව විමසිල්ලෙන් සිටියහ. වාසනාවන්ත දිනක් උදාවිය. අම්රිත්සාර් යන අතර මග ප‍්‍රදේශයක පාර අයිනේ සිටි කුඩා තරුණියක් ඔවුන් දැක දිවයන්නට වූවා ය. ලොරිය නවතාලූ තරුණයෝ ඇය පසුපස පන්නා ගොස් ඇය රැගෙන ආහ. ඇය ලස්සන ය. නිකටේ දකුණුපස ලපයකි.
“බියවන්න එපා, නුඹ සකිනා ද? සිරජ්ඩීන්ගේ දුව ද” තරුණයෙක් විමසුවේ ය. ඇය නිරුත්තර ය. ඇගේ මුහුණ සුදු මැලි වී ඇත. බියට පත් ඇය සීතලෙන් මෙන් ගැහෙන්නට වූවා ය. තරුණයෝ ඇගේ බිය පහවන සේ කථා කළහ. ඇය ඔවුන්ව විශ්වාස කළා ය.
“මම සකිනා, සිරජ්ඩීන් ගේ දුව“ ඇය සිහින් හඩින් පැවසුවා ය. තරුණයෝ ඇයට කාරුණික වූ අතර කෑම බීම ලබා දී ලොරියට නංවා ගත්හ. ළැම වැසූ සළුව නොමැතිව ලජ්ජාවට පත්වූ ඇයට තරුණයෙක් සිය ජැකටය ලබා දුන්නේ ය.
දින ගණනාවක් ගතවිය. සකිනා පිළිබඳ කිසිදු ආරංචියක් සිරජ්ඩීන්ට නොලැබුණි. ඔහු කඳවුරේ සෑම තැන ම ඇවිද්දේ ය. නිලධාරීන් මුණගැසුණේ ය. තරුණයන් පිළිබඳව විමසුවේ ය. සෑම රාති‍්‍රයක ම ඔහු දෙවියන් යැද්දේ ය. සිය දියණිය රැගෙන එන බවට පොරොන්දු වූ තරුණයන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා දෙවියන්ට යාඥා කළේ ය.
තවත් දිනකදී ඔහු කඳවුර තුළදී තරුණයන් දුටුවේ ය. ඔවුහු ලොරියේ නැගී පිටව යාමට සූදානමින් සිටියහ. සිරජ්ඩීන් ඔවුන් වෙත දුව ගියේ ය.
“දරුවනේ මගේ සකිනා දුටුවා ද?” ඔහුගේ හඬ දුක්බර විය.
“අපි සොයනවා. අපි ඇයව සොයාගන්නවා” තරුණයෝ සියලුදෙනා එක හ¾ඩින් පැවසූහ. ලොරිය නික්ම ගියේ ය. සිරජ්ඩීන් තරුණයන් ගේ කැපවීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂාව ඉල්ලා නැවත වරක් දෙවියන් යැදී ය. දෙවියන්ට යාඥා කිරීමෙන් ඔහුගේ සිතට යම් සහනයක් ලැබිණ. එදින සවස ද ඔහු දියණිය ගැන සිතමින් සිටියේ ය. කඳවුරේ කෙළවරකින් මිනිසුන් ගේ ඝෝෂාවක් ඇසිණ. ඔහු හිස ඔසවා බැලී ය. මිනිසුන් හතර දෙනෙකු විසින් මැස්සක තබා ඔසවාගෙන යනු ලබන මිනිස්රුව ඔහු දුටුවේ ය. ඔහු නිලධාරීන් වෙත දුව ගියේ ය.
“රේල්පාර ළඟ සිහි නැතිව වැටිල හිටිය ගෑනු ළමයෙක්” එක් නිලධාරියෙකු පැවැසී ය.
සිරජ්ඩීන් මිනිසුන් හතර දෙනා පසුපසින් දිව්වේ ය. තරුණිය කඳවුරේ රෝහලට බාර දුන් මිනිස්සු පිටව ගියහ. ඔවුහු සිරජ්ඩීන් නොදුටුවෝ ය. රෝහල අසළ ටික වේලාවක් නැවතී සිටි සිරජ්ඩීන් රෝහලේ දොරටුව අතරින් එබී බැලී ය. ඔහු සෙමින් සෙමින් රෝහල තුළට පිය නැගී ය.
අඳුරු පාලු කාමරයක දමා තිබු ටේරාලිය මත මිනියක් සේ තරුණියක වැතිර සිටී. ඔහුගේ සිතේ බියකරු දේ මැවෙන්නට විය. සිරජ්ඩීන් නිහඬ ව ශබ්ද නොනැඟෙන සේ ටේරාලිය ළඟට විය. අඳුරු කාමරය එළිය කෙරිණ. කවුදෝ විදුලි බුබුල දල්වා ඇත. ඔහු ඇගේ මුහුණ දෙස බැලී ය. සුදුමැලි වූ මුහුණේ වසා සිටි කුඩා කෘමියා විදුලි පහනේ එළියට දිලිසෙන්නට විය.
“සකිනා” ඔහුට කෑගැසුණි.
“මොකක්ද කීවේ” මොහොතකට පෙර විදුලි බුබුල දැල්වූ වෛද්‍යවරයා විමසීය.
“මම... මම ඇගේ පියා, ඇය සකිනා” ඔහුගේ හඬ හැඬුමකට ආසන්න ය. ඔහුගේ උගුර කට වියැළී ඇත.
ටේරාලිය වෙත ගිය වෛද්‍යවරයා ඇගේ නාඩි පිරික්සී ය.
“ජනේලය අරින්න” සිරජ්ඩීන් දෙස බැලූ වෛද්‍යවරයා පැවැසී ය. ටේරාලිය මත වූ සිරුර සෙමින් චලනය විය. අප‍්‍රාණික අතින් ඇඳුමේ වූ ගැටය බුරුල් කළා ය. සල්වාරය සකස් කළා ය.
“ඇය ජීවත් වෙනවා, මගේ දුව ජීවත් වෙනවා.”
“සකිනා...” සිරජ්ඩීන් සතුටින් කෑගැසීය.
තිගැස්සුණු වෛද්‍යවරයාට හීන් දහඩිය නැඟිණ.
පරිවර්තනය - ආචාර්ය ජගත් රූපසිංහ
No comments:
Post a Comment