Sunday, October 30, 2016

කෙටිකතාව - තිත්ත අැත්ත

තිත්ත ඇත්ත
සත්‍යය හිරු හා සමානයි. ශේකර් තමාටම කියාගත්තේය. ඇසපිය නොහෙලා, ඇස් කුඩා නොකර  කිසිම කෙනෙකුට ඒ දෙස කෙලින් බැලිය නොහැකිය. උදේ සිට රෑවනතුරු මිනිස්සු කරන්නෙ බොරුව රජකරවීම. මානව සබඳතා ගොඩනගාගෙන තියෙන්නෙ සත්‍යය වසන්කරල. හැමෝම  කරන්නෙ සත්‍යයට පිටුපෑම. කවුරුවත් එය ගැටලුවක් කරගෙන නැහැ. කිසිමකෙනෙක් ඒගැන කම්පාවෙන්නෙ නැහැ.

අවුරුද්දෙ එක දවසක් හරි ඇත්ත පමණක් කතාකිරීමටත් එයින්  ලැබෙන ප්‍රතිඵලය අත්හදා බැලීමටත් ඔහු තීරනය කළේය. ඇත්ත කතාකිරීම හොඳ දෙයක්. මොන ප්‍රතිඵලය ලැබුනත්  එදාට ඇත්ත විතරක් කතාකළයුතුයි.  එහෙම නැත්නම් ජීවත්වීමේ තේරුමක් නෑ.  තමාගෙ අදහස ගැන කිසිම කෙනෙකුට හෙලිනොකළ ඔහු එය රහසක් ලෙස තබා ගත්තේය.

ඇත්ත කීමේ පලමු අත්හදා බැලීම සිඋුවූයේ බිරිඳ උදෑසන ආහාරය ඔහුට පිළිගන්වන විටදීය. ඇය හදාතිබූ පැණිවළලු  ගැන ඔහු වැඩි කැමැත්තක් නොපෙන්වීය. ඇය නිතරම සිතුවේ ඇය රසටම හදන කෑම වර්ගය පැණිවළලු කියාය.

““ඇයි ඒක රස නැද්ද?” ඇය ඇසුවාය. ඇයගේ හිත රිදවීමට ඇති අකැමැත්ත නිසා වෙනදානම් ඔහු කරනුයේ අද මගේ බඩ පිරිල ඒකයි කෑවෙ නැත්තෙ යනුවෙන් පැවසීමය. එහෙත් අද ඔහු  සත්‍යයම කතාකිරීමට තීරණය කර ඇත.

කිසිම රහක් නෑ. ගිලින්නත් අමාරුයි.ඔහු ඇගේ මුහුණටම පැවසීය. ඇගේ මුහුණ මැලවෙනු ඔහු දිටීය.  කරන්න දෙයක් නෑ. ඇත්ත තිත්තයි. හරියට ඉර වගේ. කෙලින් මුහුණ දෙන්න බෑ. ඔහු තමාටම කියාගත්තේය.

ඔහුගේ ඊලඟ අත්හදාබැලීම සිඋුවූයේ  ගුරු විවේකාගාරය තුලදීය. 
අහවලාගෙ මරණය ආරංචි වුනාද? මිනිහට වෙච්ච දේ ගැන දුක නැද්ද. ගුරුවරයෙකු පැවසීය.
නෑශේකර් ගේ පිළිතුර විය. 
මිනිහ හරිම හොඳ කෙනෙක්අනෙකා නැවත පැවසීය.
මට එහෙම හිතෙන්නෙ නැ. මට හිතෙන්නෙ මිනිහ හරිම තුච්ජ ආත්මාර්ථකාමී මහ තිරිසන් මිනිහෙක් කියල.ඔහු තිත්ත ඇත්ත ප්‍රකාශ කළේය.

‘’ගෙදර  යන්න පෙර මා හමුවන්න.’  පාසලේ අවසාන කාල පරිච්ජේදයේදී ඔහු භුගෝල විද්‍යාව විශය උගන්වමින් සිටියදී ලොකුමහත්තයාගෙන් ලැබුනු පණිවිඩයේ එසේ සඳහන් විය.

සමහර විට මේ  එපාකරපු උත්තර පත්‍ර ගැන කතාකරන්න වෙන්නැති.  මෙලෝ මිනිහෙකුට කියවන්න අමාරු, කොල්ලො කුරුටු ගී ලියනවවගේ                           කුරුටුගාපු අකුරෙන් ලියූපු උත්තර පත්‍ර සීයක් …… ශේකර් තමාටම කියාගත්තේය.  උත්තර පත්‍ර බැලීම පිළිබඳච ඔහු සති ගනනක් තිස්සේ කල්පනා කළේය. එය මතක්වන එකත් ඔහුගේ හිතට මහා වදයක් විය. හිසට  ඉහලින් කඩුවක් එල්ලා තිබෙන්නාක් මෙනි.  එය කොයිවෙලාවක හිසමතට වැටේදැයි යනබිය මෙන්ම බියක් උත්තරපත්‍ර සම්බන්ධවද ඔහුට ඇත.

සීනුව නාදවුයෙන් ලමුන් පන්තිකාමරයෙන් එලියට පැන්නේය. තම කබායේ බොත්තම් පියවාගැනීම සඳහා ශේකර් ලොකුමහත්තයාගේ කාර්යාලය ඉදිරිපිට ටික වේලාවක් රැඳුනි.  නිසිලෙස කබාය ඇඳගෙන සිටීම ලොකුමහත්තයා හැමදෙනාගෙන්ම අපේක්‍ෂා කරයි. එසේ නොගියහොත් ඔහුගේ උදහසට ලක්වී බැණුම් ඇසීමට සිඋුවේ. 

සුභ සැන්දෑවක් වේවා සර්.”  අචාරශීලිව කියමින් ශේකර් ලොකුමහත්තයාගේ කාර්යාලයට ඇතුලුවිය.
අද හවස මොනවහරි වැදගත් වැඩක් යොදාගෙන තියෙනවද? ” ඔහුදෙස බොහොම ලෙන්ගතුකමින් බැලූ ලොකුමහත්තයා ඇසීය.

මම ගෙදරින් එනකොට බබාලට පොරොන්උු උනා අද හවස ඔවුන් එක්ක එලියට යනව කියල.

ආ. ළමයින්ව වෙන දවසක අරගෙන යන්න පුලුවන්. දැන් මා එක්ක යමු.
හොඳයි සර්. මොකක්හරි වැදගත් දෙයක් තියෙනවද?” ඔහු හෙමින් ඇසීය.

ඔවු”  සිනහමුසු මුහුණින් ලොකුමහත්තයා පැවසීය.

මට   සංගීතය හොඳට බැරිබව  ශේකර් දන්නෙ නැතුව ඇති.
ඔව් සර්........
මම හොරෙන්ම සංගීතය ඉගෙනගන්නව, ප්‍රගුණ කරනව. මගේ ගායනයට අද හවස ඔබ සවන්දෙන්න ඕන කියල මම බලාපොරොත්තු වෙනව. තබ්ලාවාදකයෙකුටත් වයලීන් මාස්ටර් කෙනෙකුටත් මම අද එන්න කිව්ව. පළවෙනිවතාවට මම මගේ හැකියාව ප්‍රසිද්ධියේ පෙන්නන්නෙ.  මගේ සංගීත හැකියාව පිළිබඳව ඔබට හිතෙන දේ, ඔබේ  හිතට එකඟ අදහස් දැනගන්න අවශ්‍යයි.  ඔබේ අදහස් හුඟක් වටිනවා.

සංගීත රසාස්වාදය පිළිබඳ ශේකර්ගේ දැනුම ඉතා ඉහලය. එය ප්‍රදේශයේ සියලු දෙනාම දන්නා කරුණකි. සංගීත රසාස්වාදය පිලිබඳව නගරයේ සිටින හොඳම විචාරකයන්ගෙන් එක් අයෙකි ශේකර්.  තමාගේ සංගීතය පිළිබඳ දැනුම සහ ඇල්ම මෙවැනි අත්දැකීමක් සඳහා යොදාගැනීමට සිඋුවේ යැයි ශේකර් සිහිනෙකින්වත් නොසිතුවේය.

මගේ ආරාධනය ගැන ඔබට පුදුම ඇති. එහෙම නේදලොකුමහත්තයා ඇසීය.
මම මෙච්චර දවසක් ගෙදර දොරවහගෙන තමයි ඉගෙනගන්න උත්සාහකළේ.

ඔවුන් ලොකුමහත්තයාගේ නිවස ගෙදර බලා ගමන්ගත්තේය.
දෙවියො මට දරුවන් ලබා නොඋුන්නට, මගේ පාලුව කාන්සිය මකාගන්න මට සහනයක්ලෙස සංගීතදැනුම දෙන එක  වලක්වන්න නම් එපා.”    ගමන අතරතුරදී ලොකුමහත්තයා ඉතාමත්  කණගාටුවෙන් පැවසීය. සියලු දේ පිළිබඳව පසුතැවිල්ලෙන් මෙන් ඔහු තොරතෝංචියක් නොමැතිව සංගීතය පිළිබඳ කතාකළේය. 
සංගීතය ඉගෙනීම ආරම්භකල හැටි, ගුරුවරයා ආරම්භයේදී ඔහුට සමච්චල් කරමින් සිනාසුනහැටි, පසුව ඉගෙනීමට අවස්ථාවක් ලබාදුන් හැටි ආදී සියල්ල ඔහු එකදිගට කියාගෙන ගියේය. සංගීතය නිසා ජීවිතයේ පැතු බලාපොරොත්තු අමතක කළ අයුරු ඔහු දිගටම විස්තර කළේය. ශේකර්ට මේ සියල්ල කන්දොස්කිරියාවක්විය. 

නිවසේදී ශේකර්ව ඉතාමත් ගෞරවයෙන් පිළිගත්තේය.  ශේකර්ව සතුටුකර ඔහුගේ හිත දිනාගැනීමට ලොකුමහත්තයා වෙහෙසුනේය. රතු පැහැති සේද පලසක් මත ශේකර්ව වාඩිකරවීය. ඔහු ඉදිරියේ රසකැවිලි පිඟානක් තබා තම බෑනාට සලකන්නාක්මෙන් ආදරයෙන් සැලකුවේය.
 “ඔබ නිදහස් මනසකින් යුතුව සතුටින් සංගීතයට සවන් දෙන්න ඕන. ලොකුමහත්තයා වැඩිදුරටත් පැවසීය.

උත්තර පත්‍රබලන එක ගැන කරදරවෙන්න එපා.  මම ඒකට සතියක් දෙන්නම්. ඔහු වැඩි ශබ්දයක් නැතිව පැවසීය.

මට දවස් දහයක් දෙන්න සර් ශේකර් ආයාචනය කළේය.
හරි හරි දුන්න කියල හිතාගන්න. ”  ලොකුමහත්තයා කාරුණිකව පැවසිය. දවසට උත්තරපත්‍ර දහය ගානෙ බලල ඒ කරදරය ඉවරයක් කරනව. හිතට ලොකු සහනයක් දැනුන ශේකර්ට සිතුනි.

ලොකුමහත්තයා හඳුන්කුරු කිහිපයක් දැල්වීය.
 “මේ වැඩේ නියම ක්‍රමයට ශාස්ත්‍රානුකුලව කරන්න ඕන. මෙතන හොඳ වාතාවරණයක්  තියෙන්න ඕන. ඔහු පැවසීය. 
තබ්ලාකරු සහ වයලීන වාදකයා බුරුම පලසමත වාඩිවී ලොකුමහත්තයා සූදානම්වනතුරු  බොහෝ වේලාවක සිට බලාහිඳියි.

ලොකු ප්‍රසංගයක් කරන ප්‍රවීන සංගීතවේදියකුසේ, ලොකුමහත්තයා තබ්ලාකරු සහ වයලීන වාදකයා මැදින් වාඩිවිය. ඔහු උගුරෙ රැල්බුරුල් ඇරියේය.  හොඳ රාගයක් ඇල්ලීය. මම හොඳට ගායනය කරනවද?”
 ඔහු මදකට ගැයීම නවතා ඇසීය. එය නොඇසුනාක්මෙන් ශේකර්  බලාසිටියේය. ප්‍රවීණ සංගීතවේදී ත්‍යාගරාජාගේ ගීයක් සම්පූර්ණයෙන්ම ගැයූ ලොකුමහත්තයා තවත් ගීත කිහිපයක්ම  ගැයුවේය. ලොකුමහත්තයා ගයන හැමවිටම ශේකර්ගේ ඔලුව කැරකෙන්නාක් මෙන් විය. ඔහුගේ හිතට විවිධ අදහස් ගලාඑන්නට විය.

මේ යකා හරියට ගෙම්බො රැළක් කෑගහනව වගෙයිනෙ. සමහරවෙලවට මීහරකෙක් තප්පුලනව වගේ.  දැන්නම්  හරියට මහා හුළඟට එහාට මෙහාට වැනෙන ජනේලයක් ක්‍රීස් ක්‍රීස් ගානව වගේමයි. 
මෙතෙක් වේලාවක් දැවෙමින් තිබූ හඳුන්කුරු නිවීයන්නට ආසන්නවිය.  කන්බෙරය දෙදරවමින් පැය ගනනක් තිස්සේ ආ ලොකුමහත්තයාගේ හඬනිසා ශේකර්ගේ ඔලුව කැරකෙන්නට විය. ඔහුගේ ඔලුව තෝන්තුවී ඇත.  ලොකුමහත්තයා නැවතීමක් නැත. අශ්වයෙකුසේ වේගයෙන් යයි.

ලොකුමහත්තයා ගායනයට විරාමයක් තැබීය.
මම දිගටම ගයන්නද? ”

අනේ එපා සර්. මෙහෙම ගියොත්........... ශේකර් පිළිතුරු දුන්නේය.

ලොකුමහත්තයා ගල්ගැසුනාක් මෙන් තුශ්නිම්භූතව බලාසිටී. ඔහුගේ හිසෙන් දහඩිය බේරෙයි.  ශේකර්ට  ලොකුමහත්තයා ගැන පුදුම අනුකම්පාවක් ඇතිවිය.  එහෙත් තමාට කළහැකිදෙයක් නැතිබව ශේකර්  දනියි.  උසාවියේ තීන්දුවක්දෙන විනිසුරුවෙකුටවත් තීන්දුවක් දීමේදී මෙතරම් අපහසුතාවයක් වේදනාවක් ඇතිනොවනු ඇත. ලොකුමහත්තයාගේ බිරිඳ කුස්සියේ සිට විචිකිච්චාවෙන් මෙන්  එබීබලනු  ශේකර් උුටුවේය.  තබ්ලාකරු සහ වයලීන් වාදකයා මෙතෙක් දරාගෙනසිටි සියලුම අපහසුතාවයන් දිග සුසුමක් යවා සැහැල්ලුකරගත්හ.

දැන් ඔබේ අදහස කියන්න. කණ්ණඩි කුට්ටම ගලවා ඇහිබැමි හකුලා නලල රැලිගැන්වූ  ලොකුමහත්තයා කීවේය.



මම හෙට උත්තරයක් දෙන්නද සර්.ශේකර් අදිමදි කරමින් ඇසීය.
බැහැ. මට ඔබේ අදහස දැන්ම අවශ්‍යයි. හිතට එකඟව ඇත්ත කියන්න.
කොහොමද හොඳද? ”
නෑ සර්”  ශේකර්ගේ මුවින් පැන්නේය.
 “මම දිගටම  සංගීතය ඉගනගන්න එකේ තේරුමක් තියෙනවද? ”
ඇත්තෙන්ම තේරුමක් නැති වැඩක් සර්.කටහඬ වෙවුලමින් ශේකර් පැවසීය.
එයට වඩා කාරුණිකව හිත නොරිදෙන සේ එය පැවසීමට  නොහැකි වීම ගැන ශේකර් කණගාටුවිය.
ඇත්ත කියන්නත් ඇත්තට මුහුණ දෙන්නත්  ලොකු ශක්තියක් දිරියක් අවශ්‍යයි. ශේකර් තමාටම කියාගත්තේය. ගෙදර එන අතරතුරදී සිදුවූ දෙය ගැන ඔහු කණගාටුවිය. තමන්ගේ රාජකාරි වැඩ මින්පසු එතරම් පහසු නොවනු ඇතිබව ඔහුට හැඟුනි.  පඩි වැඩිවීම්, තනතුරෙහි ස්ථිරකිරීම් ආදී ගැටලු ගොඩකට මේ වනවිටත් ඔහු මැදිවී සිටියි.  මේ සියලු කාරණා ඉටුවනුයේ ලොකුමහත්තයාගේ  කරුණාව සහ හොඳහිත මත පමණි.  හැම අතින්ම ඔහුට පසු තැවීම් ඇතිවන්නට විය.
මොනව වුනත් කමක් නැහැ. ඕනෑම දේකට මුහුණදෙනව. ඔහුට පැරණි කතාවක් මතක්විය. ඇත්ත කියන්න ගිහින් හරිශ්චන්ද්‍ර රජතුමාටත් සිහසුනයි, බිරිඳයි, දරුවොයි අහිමිවුනේ නැද්ද?

ගෙදරට ආවිට බිරිඳ මුහුණ බුම්මාගෙන ඔහුව පිළිගත්තාය. උදෑසනම, ඇගේ කෑම රසනැතිබව කී නිසා ඇය තවමත් අමනාපයෙන් සිටිනබව ඔහුට තේරුනි. ඇත්ත කියන්න ගිහින් අදම දෙපාරක් අවාසිවුනා. ඔහු තමාටම කියාගත්තේය. මේ විදියට සතියක් ඇත්ත කිව්වොත් මට කිසිම යාලුවෙක් ඉතුරුවෙන එකක් නෑ.

පසුදින පාසලේදී ඔහුගේ පන්තියට ලොකුමහත්තයාගෙන් පණිවිඩයක් ලැබුණි. ඔහු බයෙන් බයෙන් කාර්යාලයට ගියේය.

ඔබේ අදහස් හරියට ප්‍රයෝජනවත් වුනා. මම සංගීත මාස්ටර්ට මින්පස්සෙ එන්න එපා කිව්ව. මගෙ සංගීත හැකියාව පිළිබඳව කවුරුවත් මට ඇත්ත කීවෙ නැහැ.  මගේ මේ වයසට මොන සංගීතද? ඔබට ස්තුතියි. ආ ඒක නොවෙයි.  අර උත්තර පත්‍ර බලන වැඩේ මොකක්ද තත්වය දැන්?”

සර් මට දවස් දහයක් දුන්නනෙ උත්තර පත්‍ර බලන්න.
ඕහ්. මම ඒ ගැන නැවත සලකලබැලුව. හෙටම ඒව ලැබෙන්න සලස්වන්න.
උත්තර පත්‍ර සීයක් දවසකින්. ඒ කියන්නෙ මුලුරෑම නිදිමරන්න වෙනඑක.
මට දවස් දෙකතුනක් දෙන්න සර්.
බැහැ. හෙට උදේම මට ඒව අවශ්‍යයි. මතක තියාගන්න හැම උත්තරපත්‍රයක්ම හොඳට කියවල ලකුනු දාන්න.
හොඳයි සර්.ශේකර් පැවසීය.

ඇත්ත කථාකිරීමෙන් ලැබෙන සතුට සහ ආත්මතෘප්තිය සැලකූවිට, රෑ නිදිමරාගෙන උත්තර පත්‍ර සීයක් බැලීම සුළුදෙයක් බව ශේකර්ට හැඟුණි.
 



ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් ගේ “Absolute Truth ” කෙටිකථාවේ පරිවර්ථනයකි.

පරිවර්ථනයඃ  ආචාර්ය ජගත් රූපසිංහ, ටොරොන්ටෝ, කැනඩාව.

කෙටිකතාව ග්‍රහචාරය

ග්‍රහචාරය
ආරවුල් ඇතිකරගැනීමෙන් වලකින ලෙසත් අනවශ්‍ය පැටලිලි වලට නොයන ලෙසත් ඔහුට තදින්ම අවවාද කෙරුනි. මේ දිනවල ඔහුගේ ග්‍රහචාරය හොඳනැත. සියලුම ග්‍රහයන් නීච වී ඇත. ඔහුගේ ඉතාසුළු ප්‍රකාශයක් වුව මහ ආරවුලකින් කෙලවරවිය හැක. එනිසා කට පරිස්සම්කරගැනීම සුදුසුය. ඔහු ගැන කලින් කිවු සියළුම අනාවැකි හරි ගියේය. විස්තර කළ නොහැකි ලෙස ඔහු හොඳටම බියවී ඇත. විශාල රන්බඩු වෙළඳසැලේ කොනක වාඩිවූ ඔහු දවස පුරාම ගනන් එකතු කළේය.  වෙළඳසැලේ ගිණුම් සකස් කරන්නේ ඔහුය. දවස අවසානයේ ඔහු පිටව ගියේය. ගමන අතර මගදී සිය නිවස ආසන්නයේ පිහිටි මිතුරාගේ නිවසට ගොඩවිය. මිතුරා සමග සතුටුසාමීචියට ඔහු ප්‍රිය කළේය.  මිත්‍රයා හඳහන් බැලීමට සහ අනාවැකි කීමට රුසියෙකි. මිත්‍රයා ඉඳහිට ඔහුටද නොමිලයේම අනාවැකි පවසයි. ඔහුට කිවු අනාවැකි ඒ ආකාරයෙන්ම සිදුවුනි.

සති දෙකක පමන කාලයක් ඔබට මුදල් ප්‍රශ්ණයක් ඇතිවෙනව.  ලැබෙන්න තියෙන මුදල්වත් වෙලාවට ලැබෙන එකක් නෑ.  එය එසේම සිදුවිය.  ගමේ ඇති ඔහුට අයත් කුලියට දී ඇති ගෙදරින් ලැබෙන කුලිය වෙලාවට නොලැබුනි. ලිපිනය ලියද්දී සිදුවූ සුලු වැරැද්දක් නිසා  ලිපිය ඔහු අතට පත්වූයේ මුලු ඉන්දියාවම පුරාම ගමන් කිරීමෙන් පසුවය.

සෙනසුරු අපලෙ නිසා ගෙදර හැමෝම ලෙඩ වෙන්න පුලුවන්. මිතුරා තවත් විටෙක පැවසීය. ඔහුගේ වයසක අම්මාගේ සිට මාස හතරක් වයසැති අත දරුවා දක්වාවූ සියලුදෙනාටම ඊලඟ සතියේ උන සහ හෙම්බිරිස්සාව වැළඳුනි. ඔහුද ඇඟේ මහන්සියට නිවාඩුවක් ගැනීමට සිතුමුත් රත්රන් බඩු සාප්පුවේ අයිතිකරුගෙන් එයට ඉඩ නොලැබුනි.

අලුත්ම අනාවැකියනම් මිතුරා ඊයේ සවස කිවූදේය.
මම හිතනවා ඔබේ අපල කාලය ගෙවෙන්න ලගයි. ඉක්මනින්ම හොඳකාලයක් ලබනවා. නමුත් හෙට සඳුද දවසම පුලුවන් තරම් පරිස්සමෙන් කතාකරන්න. කතා නොකර ඉන්න තරමට හොඳයි. ඔබ කියනදේ වැරදියට ඇහිල එහෙමත් නැත්නම් අනුන් කියනදේ ඔබට වැරදි විදියට ඇහිල ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඒහින්ද කතාකරන එක පුලුවන් තරම් මග හරින්න. කට පරිස්සම් කරගන්න.  

ඇඳේ වැතිරී සිටි ඔහු දෑස් විවරකළ වහාම තමාටම කතාකරගත්තේය. අද කාඑක්කවත් කතා කරන්න හොඳනැහැ. වචනයක් වැරදුනොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. හිමින් සීරුවේ ඇඳෙන් බැසගත් ඔහු කුඩා දරුවාගේ කම්මුල මිරිකීය. අනෙක් දරුවාගේ පිටට තට්ටුවක් දැමීය. හත්හැවිරිදි පුතා පාසල්යාමට අදිමදි කරයි. ඔහුට බැනීමට කට ඇරිය මුත් වචන පිට නොකළේය. දරුවාට දෙවියො බැලුවාක් මෙනි.

ඇයි ලමයින්ට ඕන විදියට වැඩකරන්න දෙන්නෙ.  බිරිඳ ඇසුවාය.

හිස යාන්තමට සෙලවූ ඔහු නාන කාමරයට ගියේය. දියණිය නාන කාමරයේය. ඇය පැයකටවත් එලියට නොඑනු ඇත.  වැඩට යන වෙලාවට නනකාමරයට නොයන ලෙසට ඇයට කොතරම් අවවාද කලත් වැඩක් නැත. ඔහු දොරට දෙතුන්වතාවක් තට්ටු කලේය. ප්‍රතිචාරයක් නැත. දොරදෙස රවාබැලූ ඔහු මිදුලේවූ පයිප්පය ලඟට ගියේ ය. පෙරදින රාත්‍රියේ ආහාර ගැනීමේදී ඔහු හිස එසවූයේ නැත. කිසිම කතාවක් නැත. බිරිඳගේ ප්‍රශ්ණ වලට ලැබුනේ ඔව් නෑ බෑ පිලිතුරු පමනි.  ඔව් නෑ බෑ තරඟයක් මෙනි.

රැකියාවට  යන අතරමගදී පදිකවේදිකාවේ නැවතී කාගෙන් හෝ බුලත් විටක් ඉල්ලා ගැනීමේ සිරිතක් ඔහුට විය. උදේ පාන්දරින්ම ට්‍රෑම් එකට යන අයෙකු ලෙස  මිනිසුන්ට  හැඟෙනසේ ඔහු හැසිරුනේය. අද කාගෙන්වත් බුලත් විටක් නොඉල්ලූ ඔහු කවුරුන් හෝ බුලත් විටක් දෙන තුරු බලා සිටියේය. ඉල්ලීමකින් තොරව හැමදාම දෙනවිදියට බුලත්විටක් දෙන්න අද ඔවුන්ට ඕනැකමක් නැත්නම් බුලත් නොකෑමට අදිටන් කරගත් ඔහු පාරට බැස්සේය. 

ට්‍රෑම් එකේ සෙනග පිරී ඇත. මගියෙක් ඔහුගේ කකුල පාගාගෙන සිටියි. ඔහු ඉවසා සිටියේය.  එහාමෙහා යන කොන්දොස්තර ඔහුව පැත්තකට තල්ලු කලේය. එකතැන හිරවී සිටිතැයි ඔහුට ඉතා පහත් ලෙස බැන වැÿනේ ය.  ඔහු නිශ්ශබ්දව සිටියේය. වෙනදා පාස් කිව් පමනින් ඉවත්ව යන ටිකට් පරීක්‍ෂක වරයා, අද පාස් එක පෙන්වන ලෙස බල කළේය.  ඔහු ඉතාමත් අපහසුවෙන් සාක්කුවට අතදමා අතපතගා පාස් එක සොයන අතරතුරෙදී ටිකට් පරීක්‍ෂක වරයා නොරිස්සුම් සහගතව දිගින්දිගටම බනින්නටවිය. ශාස්ත්‍රි කට ඇරියේ නැත. කේන්තිය ගිල ගත්තේය. ආගම වෙනුවෙන් දිවිපුදන්නෙකුසේ සියලු දුශ්කරතා ඉවසාසිටියේය.

ඔහු ප්‍රමාද වූයේ විනාඩි දෙකකි. ඒ වනවටිත් අයිතිකරු පැමින සිටියේය.  අයිතිකරුගේ බැල්ම පැය දෙකක් ප්‍රමාද වී පැමිනියාක් මෙනි. සියළු චෝදනාවලට ඉවසීමෙන් කන්දෙමින් ශාස්ත්‍රි  අයිතිකරු ඉදිරියේ ගොලුවෙකුසේ හිට ගත්තේය.

මොකද හිටි පිලිමයක් වගේ කතා නැතුව හිටගෙන ඉන්නෙ. බොහොම පහසු ඇති ඔහොම ඉන්න.  ඔහු දෙස බැලූ අයිතිකරු කෑගැසීය. 

මොන යකෙක් වැහිලද අද  කටින් එලියට පැනීමට ආ වචන ටික ශාස්ත්‍රි ගිලගත්තේය. කෙඳිරියක් පමණක් පිටවීය.  

ආ මොකක්ද කීවෙ. අයිතිකරු ඇසීය.

මොනවද...... ආ දැන් වෙලාව කීයද සර් ඔහු ට කියවුනි.
මගෙන්ද වෙලාව අහන්නෙ. මට කේන්තිඑන්න කලින් ගිහින් වාඩිවෙනව ශාස්ත්‍රි.  

ශාස්ත්‍රි තමන්ගෙ තැනට ඉක්මනින් පැනගත්තේය. වැඩපොලේ සුපුරුදු දිනචරියාව ඇරඹුනි. සේවකයෙකු ෂෝකේස් පිසදමා සකස්කර ඒවා නියමිත තැන්වල තැබීය. මිළ අඩු ලාභබඩු සේම ඉතාවටිනා ස්වර්ණභරණද මිලදී ගැනීමට සහ විකිණීමට මිනිසුන් පැමිනියේය.  අයිතිකරුගේ මුහුණට සිසිල් පවන් සලමින් කුඩා විÿලි පංකාව ශබ්දනගමින් කැරකෙන්නට විය. අයිතිකරුගේ බාලපුතා පැමින අමතර වියදම් සඳහා මුදල්ඉල්ලා කරදර කර මුදල් රැගෙන ගියේය.

සාප්පුවේ කොනකටවන්නට පිහිටි ඔහුට අදාල තැන ශාස්ත්‍රි වාඩිවිය. ඔහු නොපෙනන තරමට ගිණුම් පොත් ඔහුවටා විය. ගිණුම් පොතේ මෙතෙක් එකතුකළ පේලි ප්‍රමානය අනුව ඔහු වෙලාව අනුමාණ කළේය.  දෙකටවත් ලංවෙලා ඇති. තව පැය අටක්වත් ඉන්නවෙයි වගේ දවසෙ වැඩ ඉවරකරන්න.

මේ දියමන්තිය එලියටඅරන් ඒක ප්ලැටිනම් ලෝහයෙන්  බඳින්න පුලුවන්ද.  ශාස්ත්‍රි ඉදිරියේ සිටගත් ගනුදෙනුකරුවෙක් එතරම් නොවටිනා ආභරණයක් පෙන්වා ඇසීය. ඕනෑවට එපාවට මෙන් ආභරණය දෙස බැලූ ශාස්ත්‍රී අන්න අතනින් අහන්න යැයි කවුන්ටරයක් පෙන්වීය. 

එතනට යන්න මම දන්නවා. ඉස්සරල මගේ ප්‍රශ්ණෙට උත්තර දීල ඉන්න. ගනුදෙනුකරු තරහින් පැවසීය. ශාස්ත්‍රි හිස වැනුවේය.

මේ ගැන කිසිමදෙයක් දන්නෙ නැහැවගෙයි පේන්නෙ.

මං කිසි දෙයක් දන්නෙනෑ ශාස්ත්‍රී කීවේ ය.
එහෙනම් මෙතනින් අස්වෙලා පලයන්.  එසේ කෑගැසූ ගණුදෙනුකරු, අයිතිකරු ලඟට ගොස් ඔහු ඉදිරිපස වාඩිවිය.

ශාස්ත්‍රී මෙහාට එනවා. අයිතිකරු කෑගැසීය.

එනව සර්. හිස නොඋස්සාම ශාස්ත්‍රී පිළිතුරු දුන්නේය.

ගිණුම් පොතේ එකතුකරමින් සිටි පිටුවේ තව පේලිතුනක් එකතුකිරීමට ඇත. දැන් නතරකලහොත් නැවතත් මුල සිටම එකතුකිරීමට සිදුවේ. ඔහු දිගටම ගනන් එකතු කලේය. අයිතිකරුගේ ඉවසීමේ සීමාව ඉක්මවාගොස් බෙරිහන්දෙන්නට විය.

මම කතාකරාම පෑන තියල මෙහාට එනව. එනවද නැද්ද.

තව එක පේලියක් ඉතුරුව ඇත. මෙම පේලිය මගහැරුනොත් සවස්කාලයම ගිණුම්පොතේ එල්ලී සිටීමට සිදුවනු ඇත. අයිතිකරු දිගටම කෑගසයි. පොතෙන් මොහොතකට ඇස ඉවතටගත් ශාස්ත්‍රී ඔලුව උස්සා බැලීය. අයිතිකරුගේ මුහුණ කේන්තියෙන් රතුවී ඇත. වචනයක්වත් නොදෙඩූ ශාස්ත්‍රී ගනන් එකතුකිරීම අවසන්වනතුරු නොනැගිටීමට තීරනය කලේය. ඔහු කලබල නොවී බිහිරෙක් සේ දිගටම ගනන් එකතුකළේය. මදවේලාවකට පසු ඔහු සිය ස්වාමියා ඉදිරියේ සිටගත්තේය. මේසය මත තිබෙන ලිපි ලේඛණ සුළඟට යෑම වැලැක්වීම සඳහා බරට තබන ඊයම් බෝලය අයිතිකරුගේ අතෙහි විය. මිනිහ මට ඒකෙන් දමල ගහන්න හැදුවද දන්නෙ නෑ. එසේ සිතු ශාස්ත්‍රී නොසැලී සිටියේය.

කරදරකාර ගනුදෙනුකරු පහසුවට වාඩිවී සිදුවනදේ ගැන ඉතා ආසාවෙන් සහ කැමැත්තෙන් බලාසිටියේය. ඔහු දෙස බැලූ ශාස්ත්‍රීට සිදුවන සියල්ල තමාගේ ආත්මගරුත්වයට හානිදායක බව සිතුනේය.

මට රුපියල් පනහක් ගෙවන්නෙ පිනට නොවෙයිනෙ. මම වහලෙක් වගේ වැඩකරනව. මට නිග්‍රහ කරන්න මාව සවුත්තුකරන්න බොස්ට තියෙන අයිතිය මොකක්ද. එසේ සිතු ශාස්ත්‍රීට සියල්ල එපාවිය. කේන්තිය ඉහවහා ගියේය. ඔහුගේ ඇස්බැමි නටන්නට විය.

මොකටද ඕක අතට ගත්තෙ.  අයිතිකරු අතතිබූ ඊයම් බෝලය දෙස බලමින් ඔහු ඇසීය.

මෝඩය. උඹට ඒකෙන් වැඩක් නැහැ. උඹ උඹේ වැඩක්බලාගනින්. අද මොනවද උඹට  වෙලාතියෙන්නෙ.  අයිතිකරු බැනවැÿනේය.

අඩගැහුවම වෙලාවට එන්න බැරි ඇයි.  

කේන්තිය පුපුරා යාමට ආසන්නව සිටි ශාස්ත්‍රි තම ආවේගය අමාරුවෙන් මැඩ පවත්වා ගත්තේය.

මම ගනන් එකතුකරමින් හිටියෙ සර්. තම කේන්තිය පාලනය කරගනිමින් ශාස්ත්‍රි යටහත්ව පැවසීය.

අඬ ගැහුවම එන්න දැනගන්න. ඇයි මේ මහත්තයට නරක විදියට තදින් කතා කලේ.

මම එහෙම කලේ නැහැ.  ශාස්ත්‍රි හෙමින් කීවේය.

මම බොරු කියනවයි කියලද කියන්නෙ.   ගනුදෙනුකරු රවාබලමින් කෑගැසීය.

ශාස්ත්‍රි තමාගේ කටට ආ උත්තරය ගිල ගත්තේය. අනෙකාට රිදෙන්නට පාරක් ගැසීමට සිතුනමුත් මිත්‍රයාගේ අවවාදය සිහිවීමෙන් නිහඩ විය.  කට පරිස්සම් කරගන්න....

ශාස්ත්‍රි මම අවසාන වතාවට අවවාද කරන්නෙ. ගනුදෙනු කාරයින් ට මිත්‍රශීලීව හොඳින් සලකන්න ඕන. එහෙම බැරිනම් මෙහෙන් අස්වෙලා යන්න පුලුවන්.  ඔහු දෙස බලමින් බොස් පැවසීය.

මම ප්ලැටිනම් ගැන දන්නෙ නැහැයි කියන එක විතරයි කී වෙ.

මට ඒව වැඩක් නැහැ. මේ සාප්පුවෙ වැඩකරන හැමෝම ඕනෑම අංශයක දෙයක් ගැන විස්තර කරන්න ගනුදෙනු කරුවො අහන ඕනෑම ප්‍රශ්ණයකට උත්තර දෙන්න දැනගන්න ඕන. එහෙම බැරි අයට මා ලඟ රක්‍ෂාව නෑ. උඹට තේරුනා නේද.   ශාස්ත්‍රි ආපසු යන්නට හැරුනේය.

මට දැනගන්න ඕනවුනේ මේක ප්ලැටිනම් වලින් හදන්න පුලුවන්ද කියල විතරයි. ඒවගේ පොඩිදෙයක් ගැනවත් එයාට උත්තර දෙන්න බැරිද.   ගනුදෙනුකරු නැවතත් කීවේය.

එච්චරද ඇහුවෙ. පොඩිලමයෙකුටවුනත් ඒකට උත්තර දෙන්න පුලුවන්.
 බොස් ගේ හඬ ශාස්ත්‍රිට ඇසුණි.

ශාස්ත්‍රි මෙහෙ එනවා  ශාස්ත්‍රි නැවතත් අයිතිකරු ඉදිරියේ හිට ගත්තේය.

ප්ලැටිනම් ගැන මොනවද දන්නෙ.

මම කිසිදෙයක් දන්නෙ නෑ සර්.

උඹ මටද කියන්නෙ. හරි ආපහු වැඩකරන තැනට යන්න පුලුවන්. මම උඹ ගැන බලාගන්නම්. මගේ දෑහට නොපෙනි ඉක්මනට පලයන්.

ශාස්ත්‍රි ලැජ්ජාවෙන් ආපසු හැරුනේය.

මේ කොල්ලො හරිම මුරණ්ඩුයි මේ කාලෙ. ගනුදෙනු කරු පැවසූදෙය ශාස්ත්‍රිට ඇසුනි. මේ ඔක්කොම ඔවුන්ගෙ වෘත්තිය සමිති නිසා. මම ඔබට කියන්නෙ. මම ඒවගැන අවශ්‍ය කටයුතු කරලයි තියෙන්නෙ. ඒත් තවමත් ඒවගැන කල්පනාවෙන් සුපරික්‍ෂාවෙන් ඉන්න ඕන.
සාප්පුවෙ කොනක වූ තමාවැඩකරන තැන ශාස්ත්‍රි වාඩිවිය. නැවතත් ගිණුම් පොතට හිත යොමුකිරීමට උත්සාහ කලත් වැඩකටයුතු කලින් මෙන් නිසිලෙස සිදුනොවීය.  ඔහුගේ හිතට වදදෙන කරුණක්විය. මෝඩයෙක් ඇවිත් දවසම කාලකණ්නි කළා. ඒ මෝඩය නිසා මට හැම අපහාසයක්ම විඳින්න වුනා. මම මෙතන අවුරුදු විස්සක් වැඩකරල තියෙනව.
තම අවශ්‍යතාවය නිමකරගත් ගනුදෙනුකරු ආපසු යනගමන් ශාස්ත්‍රි දෙස සමච්චල් බැල්මක් හෙලා උජාරුවෙන් ඉවත්ව ගියේය.
වහාම අහක බැලූ ශාස්ත්‍රි පොතට ඇස් යොමුකලේය.  මේ මිනිහ මට අරියාදුකරන්නම ඉපදුනු එකෙක් වගේ. මිනිහ කවුද කියලවත් මම දන්නෙ නැහැ.

පාට ජනෙල් අතරින් ආ නිල් පැහැගැනුනු හිරු කදම්භය සාප්පුවේ සිවිලිම දක්වා විහිÿනි. එහි තේරුම අඳුර වැටීගෙන එනබවයි. බොස් නැගිට ඉවත්ව ගියේය. පහල කාරය පනගන්වන ශබ්දය ඇසුනු ගමන්ම සේවකයන්ද පිටව යෑමට නැගිට්ටේය. ඔවුන් සියලු දෙනාම දොරෙන් එලියට ගියේය. එහෙත් ශාස්ත්‍රි සහ මුරකරු සාප්පුව තුලම සිටියහ. බොස්ගේ බාධාකිරීම් නිසා ඔහුකරමින් සිටි සියල්ල අවුල් විය. එකතු කළ ගනන් වැරදිය. ඔහුට නැවතනැවතත් ගිණුම් පොතේ වැඩකිරීමට සිÿව ඇත. ලයිට් එක දැල්වූ ඔහු රාත්‍රි නවය වනතුරු වැඩකළේය. ඔහු රිදෙන ඇඟිලිමිරිකමින් පඩිපෙල බැස පාරට ගියේය.

මට නිකන්ම නම කියලයි කතා කලේ. බොසුයි නොදන්න ගනුදෙනුකාරයොයි එකතුවෙලා හැමදෙනාම ඉස්සරහ මට අපහාස කලා. ප්ලැටිනම්  ප්ලැටිනම්  ප්ලැටිනම්   

මාසෙකට රුපියල් පනහකටත් වඩා අඩුපඩියකට මම අවුරුදු විස්සක් වැඩකලා. වෙන තැනකට ගොස් මේ ගානම හෝ ඊට වැඩියෙන් හොයාගන්න උත්සාහ නොකර මෙතනම ලැගගෙන ඉන්න හිතුනේ ඇයිද යන්න ගැන ඔහුටම පුදුම සිතුනි.

බොස් මගෙන් සමාව ගන්න තුරු අද රැ කෑම කන්නෙ නැහැ. මගෙන් සමාව ගන්න කියල බොස්ට බලකරනවා. එහෙම නොවුනොත් මම අස්වෙලා යනව. මොනවවුනත් මට කමක්නැහැ. බිරිඳ සහ දරුවන් බඩගින්නේ සිටින අයුරු ඔහුට මැවී පෙනුනේය.  ඒ කිසිවක් දැන් ඔහුට වැදගත් නැත. ණයක් අරගෙන පොඩිකඩයක් දාගෙන මම කොහොමහරි ජීවත්වෙනව. ඕනදෙයක් වුනාවෙ. දැන් ඔහුට අවශ්‍යවනුයේ ගණකාධිකාරීවරයෙකු හෝ පවුලේ ප්‍රධානියා ලෙස නොසිතා සාමාන්‍ය මිනිහෙකු ලෙස තමාගේ ආත්මගරුත්වය නැවත ලබාගැනීමය. ඔහුට බොස්ගේ අතේ තිබූ ඊයම් බෝලය සිහිවුණි. සිදුවුනු සියලුදේට වඩා ඔහුට රිදුනේ එය මතක්වීමෙනි.

කල්පනාවට වැටුනු ඔහු ට්‍රෑම්පාර දිගේ පහලට ගමන්කළේය. රෝයපේටා වලට යන ට්‍රෑම් රථය ඔහු ඉදිරියේ නැවැත්වීය. එහි නැගී ගෙදර යනවාදැයි ඔහු සිතින් විමසීය. ඔහු ට්‍රෑම් රථයටයන්නට හැරියේය. කිල්පෝක් යන බසයක් එනතුරු බලාසිටි ඔහු එයට ගොඩවිය. 

ඔහු සිය ස්වාමියාගේ බංගලාවට ලංවනවිට රාත්‍රි දහයට පමන විය. ඇම්බර් වලව්ව

හුඟක් රෑවෙලානෙ සර්.  මුරකරු පැවසීය.

ඔව් මම දන්නව. ඒත් මට බොස්ව මුනගැහෙන්න ඕන.  ඔහු උත්තර දුන්නේය.

බොස් තවම නැගිටලද.

ඔව් දැන්තමයි රෑ කෑම කෑවෙ. ඉස්සරහ කාමරේ ඉන්නව.

ටිකදුරක් ඉදිරියට ගිය ශාස්ත්‍රීට මිතුරාගේ අවවාදය මතක්වීමෙන් යම් අපහසුතාවයක් දැනෙන්නටවිය. කට පරිස්සම් කරගන්න. කතාකරන එක මගහරින්න පුලුවන්නම් මගහරින්න. කතා නොකරඉන්න බැරිමනම් විතරක් කතාකරන්න.
නමුත් දැන් ඔහුට ආපසු හැරීමට නොහැක. ඔහුගේ ඉරණම ඔහු ඉදිරියට තල්ලු කළේය. ඔහු සාලය මැද හිටගත්තේය. බොස් පත්තරයක් බලමින් සෝපාව මත සුවසේ වැතිර සිටියි.  ශාස්ත්‍රි දෙගිඩියාවෙන් හිටිතැනම නැවතී සිටියේය. 

මගහරින්න පුලුවන්නම් කතාකරන එක මග හරින්න. කට පරිස්සම් කරගන්න. මිත්‍රයාගේ වචන ඔහුගේ මොලය ඇතුලේ බෙර ගසන්නාක් මෙන් රැව් දෙන්නට විය.  කතා නොකර ඉන්න හොඳම වෙලාව මේක. ඔහු  තමාටම කියා ගත්තේය. ආපසු හැරී ඉක්මනින්ම දුවයන්නට ඇත්නම් යයි ඔහුට සිතුනේය.  ගෙදරදි බොස්ට කතාකරන එක අමාරුයි. සාප්පුවෙදි කතාකරන එක වඩා හොඳයි. ශස්ත්‍රිගේ හිත වැනෙන්නට විය.  ශාස්ත්‍රි තීරනයක් ගැනීමට පෙර පත්තර පිටුවට උඩින් හිස එසවූ බොස් සිටගෙන නොසැලී සිටින ශාස්ත්‍රි  දුටුවේය.

ආ.. ශාස්ත්‍රි මට තේරෙනව උඹේ හැසිරීම ගැන උඹ දැන් කනගාටුවන බව. මම උඹ ගැන කල්පනාකරමින් හිටියෙ. ආයෙත් දවසක් මා එක්ක එකටඑක කියන්න අවොත් උඹව එවෙලම අස්කරනවා.  අමතක කරන්න එපා.  ඒවගේම උඹ අනිත් අයටත් හොඳින් සලකන්නෙ නෑ කියලත් නරක විදියට කතාකරනව කියලත් මට තේරුනා.  ශාස්ත්‍රි දෙස දෙස ටික වෙලාවක් බලාසිටි බොස් පැවසීය.

අර මිනිහ එන්නෙ ප්ලැටිනම් වලින් හදන්න පුලුවන්ද දැනගන්න.  බොස් නැවතත් කීය.

ඔව් සර්.  ප්ලැටිනම් වලින් හදන්න පුලුවන්ද දැනගන්න. ශාස්ත්‍රි බොස් කිවු දෙයම ප්‍රතිරාවය කළේය.

මිනිහ පිස්සෙක්. මිනිහ මගේ ඉස්සරහ වාඩිවෙලා ඉන්නවෙලාවෙ මගේ අතේ ඊයම් බෝලය තියෙනව දකින්න ඇතිනෙ.

ඔව් සර් මම දැක්ක.

ඒ ගැන උඹට කලබල වෙන්න වැඩක් නැහැ. පිස්සු වුනත් හොඳසිහියෙන් වුනත් කවුරු උනත් කමක් නැහැ. උඹට තියෙන්නෙ අහන ප්‍රශ්ණෙට කාරුණිකව උත්තර දෙන්න. ප්ලැටිනම්ද රත්තරන්ද රිදීද මැටිද කඩමාලුද කියල ප්‍රශ්ණයක් නැහැ. මගේ සාප්පුවෙ වැඩකරන අය හැම අංශයකම දේවල් දැනගන්න ඕන. අද උඹේ හැසිරීමටයි කතාවටයි උඹව අස්කරන්නත් ඉඩතිබුන. නමුත් උඹ දැන් ආව නිසා එහෙම වෙන්නෙ නැහැ.

මගෙ ප්‍රතිපත්තිය තමයි අවංකව වරද පිලිගන්න කෙනෙකුට සමාව දෙනඑක. හොඳටම රෑවෙලා. උඹට දැන්  යන්න පුලුවන්.

ඔබට ගොඩක් ස්තුතියි. සුබරාත්‍රියක් සර්. කියන්න පුලුවන් උපරිම යටහත්බාවයෙන් ශාස්ත්‍රි කීවේය.
මගතොටදී හෝ ගෙවුනු කාලය තුලදී සිදුවූ අපහසුතාවයන් හෝ කරදර කිසිවක් ගෙදර යන අතරතුරදී ශාස්ත්‍රිට දැනුනේ නැත. එදා දවසේ අපලයෙන් බේරීමට හැකිවීම ගැන ඔහුගේ සිත සියුම් සතුටකින් පිරී ඇත.

ඉන්දියානු ලේඛක ආර්.කේ. නාරායන් ගේ All Avoidable talk කෙටිකතාවේ පරිවර්ථනයකි.

පරිවර්ථනය   ආචාර්ය ජගත් රූපසිංහ   ටොරොන්ටෝ  කැනඩාව.