Friday, November 4, 2016

ගුරාගේ කොලම - 2013 ඡනවාරි

කැනඩාවේ ටොරොන්ටෝ හි පලකරන දසත පුවත්පතට මවිසින් ලියන තීරැ ලිපිය

මට හිතෙන හැටි

ලෝක විනාශය, විනාශයක් නොවී නිමවිය. මට පරණ කතාවක් මතක්විය. තල් අත්තක් උඩට බෙලිගෙඩියක් වැටීමෙන් ඇතිවූ ශබ්දයට ඇහැරුන හාවෙක් හො‍‍‍ඳටම බියට පත්වී ලෝකය පෙරලෙනවා කියමින් දුවන්නට විය. කිසිම දෙයක් ගැන සොයා නොබැලූ අනෙකුත් සතුන්ද  ලෝකය පෙරලෙනවා කියමින් හාවා පසුපස දුවන්නට විය. නුවණ ඇති සිංහයෙකු සිටිනිසා සිදුවන්නට ගිය මහ විනාශයක් නැවතිනි. 2012 දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් සිදුවේයැයි සිතා බයවූ බොහෝ දෙනා කළේද හාවා පසුපස දුවගිය සතුන් මෙන් දුවන්නන් වාලේ දිවයෑමය.

මායා වරුන්ගේ දින දර්ශණය 2012 දෙසැම්බර් 21 න් අවසන් විය. එදින ලෝක විනාශයක් සිදුවේයැයි එහි සඳහන් නොවීය. මෙහිදී සිදුවූයේ මායාවරුන්ගේ දින දර්ශණය උපයෝගී කරගෙන එයින් වාසි සහ ලාබ ප්‍රයෝජන ලබාගැනීමට විවිධ පිරිස් ලෝක විනාශයක් සිදුවේයැයි ප්‍රචාරය කිරීමයි. නූතන ලොකයේ සියලුම දේට මිලක් ඇත. සියලුම දේ අලෙවිකරයි. අපට තේරෙන භාෂාවෙන් කියනවානම් හැම දේකටම මාකට් එකක් ඇත. මාකට් නොකර පන්සලට, පල්ලියට, කෝවිලට හෝ දේවාලයට වුව ජනතාව ගෙන්වා ගත නොහැක. ගුන දම්, සංස්කෘතිය, සභ්‍යත්වය, ආගම දහම, ආදී දේ පවා අලෙවි වේ.  ලෝක විනාශයද විවිධ පුද්ගලයන්ගේ ලාබ ප්‍රයෝජන උදෙසා මාකට් කළ ව්‍යාපෘතියකි. විවිධ ආගමික දේශකයන්, අනාවැකි කියන්නන්, පේන කරුවන්, මාධ්‍ය ආයතනයන්, ශාස්ත්‍රකරුවන්, විද්වතුන් සේ පෙනී සිටිමින් දේශනාකරන්නන් ආදී විවිකාර පුද්ගලයන් මෙහි පෙරමුණ ගනු ලැබීය. ලෝක විනාශයක් සිදුවේයැයි බයෙන් එය විශ්වාසකරමින් එයින් ගැලවීමට උත්සාහකළ පිරිස් සැමතැනම විය. සමහරු වතුර සහ කෑම රැස් කළහ. සිදුවන්නේ ලෝක විනාශයක් නම් කෑම සහ වතුර රැස්කිරීමෙන් පලක් නැත.  නමුත් සමහර කල්ලි මිනිසුන් තුල මරන බය ඇතිකර ජීවත්වීමේ තන්හාව ඇතිකලේය. එක්තරා නිවසක පැවති දේශනයකදී දේශකයානන් වදාල දෙයක් මට මෙහිදී මතක්වේ. ලෝක විනාශය සිදුවන බවත්, එයින් ගැලවීමට ශ්‍රී ලංකාවට සැපත්වන බවත් දේශනා කළහ. දේශකයානන්ට අනුව ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් නිසා ලෝක විනාශයෙන් විනාශ නොවේ. පුවත්වලින් දැනගත් ආකාරයට මේ කාලය තුල ශ්‍රී ලංකාවේ දරුනු ස්වභාවික විපත් සිදුවිය. මිනිසුන්ගේ බුද්ධියට නිගාකරන මෙවැනි මත පැතිරවීම ලෝක විනාශයට වඩා විනාශයකි. මෙය මිනිසුන්ගේ ආගම දහමට ඇති ශ්‍රද්ධාව, භක්තිය සහ විශ්වාස සමග සෙල්ලම් කිරීමකි.

මායවරුන් ජීවත්වූ ගෝතමාලාව සහ එ් ආශ්‍රිත රටවලට ලෝක විනාශය ලොතරැයියක් වූ බව ආරංචිය. මෙම ප්‍රදේශ නැරඹීම සඳහා සංචාරකයන් පැමිනීම නිසා එම රටවලට ආදායම් ගලාඑන්නට විය. ප්‍රංශ රජය නිත්‍යානුකූල පියවර ගන්නාතුරු ප්‍රංශයේ එක්තර ප්‍රදේශයක නිවාස සහ ඉඩම් ඉතා ඉහල මිලකට අලෙවි වීය. එම ප්‍රදේශය ලෝක විනාශයෙන් විනාශ නොවන බවට වූ ආරංචිය එයට හේතුවිය. මාධ්‍ය ආයතනවලට එම කාලයේදී එය හොඳින් මාකට් කළහැකිවිය. පේනකරුවන් සහ අනාවැකි කියන්නන්ද හම්බකරගත්තේය.

සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කළපරිදි ලෝක විනාශයක් විය හැක. එහෙත් එය සිදුවිය හැක්කේ කල්ප ගනනාවකට පසුවය. මෛත්‍රී බෝසතානන්වහන්සේ බුදුවූවාටත් පසුවය. කල්පයක් යනු අවුරුදු මිලියන ගනනාවකටත් වඩා වැඩි කාලයකි. අංගුත්තර නිකායේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ ලෝකවිනාශයක් සිදුවියහැකි ආකාරය පෙන්වාදී ඇත. සප්ත සූර්යෝද්ගමනයකින්, තේරෙන භාෂාවෙන් කියනවානම් ඉරවල් හතක් පායා ඇතිවන දැඩි රශ්මියෙන් දැවී අලුවී ලෝක විනාශයක් සිදුවිය හැක. එහෙත් එ් සඳහා තව කල්ප ගනනක් ඇත. සංසාරයේ සැරිසැරීමට සිදුවනු ඇත. එ් අතරතුර නිවන් අවබෝධකරගැනීමටද හැකිවනු ඇත.


මේ ලබන මනුෂ්‍ය ආත්මය තුල අපට ජීවත්වීමට ඇත්තේ ඉතා සුලු කාලයකි. අප කළ යුත්තේ තණ්හාව ඉවතදා සමාජයට බරක් නොවී දැහැමි ජීවිතයක් ගත කිරීමය. ආගම දහම, සාරධර්ම, ආදී එකී මෙකී නොකී සියලු දෑ අලෙවිවන නූතන ගෝලීයකරණ යුගයේදී අප කලයුත්තේ එලඹි සිහියෙන් ජීවත්වීමය. අන්ධ භක්තිය විනාශයටම හේතුවේ.

මේ මට හිතෙන හැටිය.

 මේ වගට ගුරා.

No comments:

Post a Comment