අල්ලිය දේවාලය
අවුරුදු කාලයට මතකයට එන තැනකි අල්ලිය දේවාලය. අද එය ශ්‍රී අල්ලිය දේවාලය
ලෙස හැදින්වුවත් අල්ලිය කියා ද බොහෝදෙනා එය හදුන්වයි. අල්ලිය යන වචනය දේවාලයට
දැම්මේ ඇයිද කියා මම නොදනි. අපේ ගමේ දෙල්ගස්හන්දියේ සිට කටුවන්ගොඩ දක්වා යන මග ට
මුහුණලා අල්ලිය දේවාලය ඉදිකරඇත. අම්මාගේ සහ තාත්තාගේ මහ ගෙවල් ඇත්තේ
දෙල්ගස්හන්දියේය. එම ගෙවල්වල සිට අල්ලිය දේවාලයට ඇවිදයාමට විනාඩි දෙක තුනක් ගතවේ.
අල්ලිය දේවාල ඉඩමට දකුණු පැත්තේ සීමාව පැණි පට්ටාව ලෙස හැදින්වු වෙල්යායයි. බටහිර
මායිම අපේ ලොකු බාප්පාගේ (තාත්තාගේ මල්ලි) ගෙය සහ දේවාලයේ කපු මහතාගේ ගෙවල් තිබු
ඉඩම්ය. උතුර මායිම දෙල්ගස්හන්දියේ සිට කටුවන්ගොඩට යන පාරය. නැගෙනහිර මායිම වනුයේ
වෙල්යාය සමග ඇති කුඩා කොරටුවක් වැනි ඉඩමය. එම සිමාව අසලම පාරෙන් එහා පැත්තේ තිබුනේ
ගම්වැසියන්ගේ පහසුව සදහා තනාතිබු පොදු නාන පොකුණය. දශක ගණනාවක් එම පොකුණ
ගම්වාසින්ට වැදගත්විය. අද එය බාවිතා කරනවාද හෝ තවමත් තිබෙනවා ද යන්න නොදනි. එම
පොකුණ ලග තිබුනේ අපේ සීයාට අයත්ව තිබු කුඩා රබර්වත්තක් සහ කුඹුරු යායකි. දැන්
ඒවායේ ගෙවල් ඉදිවි ඇත.
අල්ලිය දේවාලය පත්තිනි දේවියට කැපකළ දේවාලයකි. අනෙකුත් දේව ප්‍රතිමා රූප
තිබුනද ප්‍රධානවුයේ පත්තිනි දේවියයි. අප කුඩා කළ දේවාලයේ කපු මහතාට අප කිවේ කපු
සීයා කියාය. ඔහු ඒ කාලයේ වයසක අයෙකි. පසුව කපු සියාගේ පුතාවු සැමි අයියා දේවාලයේ
කපුවා විය. සැමි අයියා හෝ සැමි කපුමහතා ලෙස ගමේ අය ඔහුව හැදින්විය. කපු සීයාද සැමි
කපු මහතා ද අතිදක්ෂ නැට්‍ටුවන්ය. දේවාලය තිබු බිම කුඩා කැලෑ රොදක්දවිය. දැවන්ත
නාගසක්ද එහිවු අතර දේවාල බිමේ සැරිසරණ විශාල නාගයෙක්ද විය. එම නාගයාගේ වලිගය කොටය. පනහ හැට හැත්තෑව දශක වල තිබුනේ මැටි වලින් තැනු
කුඩා දේවලයකි. අද වනවිට ඒ මැටි දේවාලය වටකොට ඉදිකල ලොකු දේවාලයක් ඇත. එසේම දේවාල
බිමද නා නුග ගස් සිටුවා ලස්සන කර නැටුම් සදහාම වෙන්කල බිමකින්ද සමන්විතය.
දේවාලයෙන් කෙරුණු සහ අදටත් කෙරෙන වැඩ කටයුතු බොහෝය. තම ගෙවත්තේ හරක් ඇතිකරන
ගම් වාසින් සිදුකරන දේව මෙහයක් වනුයේ එලදෙනුන්ට පැටවු ලැබුනු පසු කපු මහතා ගෙදරට
කැදවා දේව දානයක් නැතිනම් කපු දානය දීමයි. අපේ ගෙදර දශක පහකට පෙර හරක් ඇතිකල නිසා
දේව දානය දිම සිදුවිය. අදටත් දේව දානය දෙන ගෙදරක් වනුයේ අපේ මහ ගෙදර ඉදිරිපිට ඇති
සෙක්කු ආච්චිලාගෙ ගෙදරයි. එම වත්තේ සෙක්කුවක් තිබු අතර හරක් ද ඇති කලේය. කපු දානය
සදහා කපු මහතා එන්නේ සවස් ඡාමයේ අදුර වැටීමත් සමගය. වත්තේ කෙලවරක වන්නට තැනු බුලත්
තට්ටුව ලෙස හැදින්වු කනු සිටුවා ඒ මත ගොක්කොල වලින් තැනු තට්ටුවට පූඡාවට අවශ්‍ය
කැවිලි සහ අනෙකුත් දේවල් තබා දේව කන්නලව්ව පටන්ගන්නා කපුමහතා පැයක් හෝ විනාඩි
හතලිස්පහක් පමණ කන්නලවු කරයි. ආයුබෝවේවා මෙබිමට අරක් ගත් දෙවි දේවතාවන් වහන්සේලා
කියා පටන් ගෙන කරන කන්නලව්වේ හඩ තවමත් ඇසෙනවා වාගේය. එහි ඇති රිද්මය වචන හසුරුවන
ස්වරය උස්පහත් වන හඩ මිහිරිය. කටහඩ බොහෝ ඈතට ඇසේ. තට්ටුව තැබිම සදහා ගන්නා කනු
බොහෝ විට ඇල්බීසියා අතුය.
කන්නලව්වෙන් පසු දේව දානය ගෙදර සාලයේ දි පිරිනමයි. බිම පැදුරු එලා වාඩිවෙන කපු මහතා ඇතුලු පිරිසට
කෑම බෙදෙනුයේ කෙහෙල් කොලයටය. බිම වාඩිවිම සදහා අවසර ඇත්තේ පිරිමි පාර්ශවයට පමණි. කිතුල් පිටි හෝ
පාන්පිටි වලින් තැනු කිරියා ලෙස හදුන්වන රසවත්
ආහාරයත් කිරි බත් සහ ඇඹුල් කෙසෙල් දානයට අත්‍යාවශ්‍යය.
දේවාලයෙන්
වන තවත් දේව කාර්යයක් වනුයේ විවිධ දේවාස්ථාන වලට මෙන්ම අල්ලිය දේවාලයට විවිධ දේ
සදහා පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් බාරහාර විමය. එයට අමතරව අපල දෝශ සදහා දෙහි කැපිමද
කපු මහතා සිදුකරයි. අවුරුදු කාලවලදි දේවාලයෙන් සිදුවන විශේෂ මෙහෙයක් වනුයේ නානු
සැපයිමය. චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමට පෙර නානු ගා නාගතයුතුය. නානු වලට අවශ්‍ය
විවිධ කොලවර්ග තම්බා නානු සැකසිම කරන
දේවලයේ කපු මහතා හිස තෙල් ගාන දින පෙරවරුවේ එම නානු මැටි කලවලට පුරවා ගමේ
සැම පාරක්ම ගානේ දේවාලයේ ආවතේවකාරයන් හෝ තම හිතවත් අය ලවා බෙදා හරියි. නානු නානු
යනුවෙන් කෑගසමින් කුඩා සීනුවක්ද සොලවමින් එන නානු ගෙනෙන්නාගෙන් නානු ලබාගැනිමට
පාරට එන ගම්වාසින් කලයට කාසියක් දමා කුඩා කෝප්පයකට නානු ටිකක් ලබාගනියි. ඒ කාලයේ
දැම්මේ සත විසිපහක් පනහක් හෝ රුපියලකි. මෙහි තව විනෝදඡනක පැත්තක් වනුයේ නානු කලයේ
නානු අඩුවනවි ට නානු කලය රැගෙන යන්නා කරනුයේ පාර අද්දර ඇති ලිදකින් නානු කලයට වතුර
පුරවා ගැනිමය. අපේ ගෙදර ලිදෙන්ද මෙලෙස වතුර පුරවාගත් අවස්තාච මගේ මතකයේ ඇත.
අල්ලිය
දේවාලයේ මා දකින සුවිශේෂිම කාර්යය වනුයේ වාර්ෂිකව පවත්වනු ලබන ගම් මඩුවයි. දෙවොල්
මඩුව කියාද හදුන්වයි. දේවාල බිමේ පුවක් ගස් සිටුවා කප් සිටුවා කෙසෙල් කදන් ගෙන
ගොක්කොල යොදා ගම් මඩුවට අවශ්‍ය අට්ටාල සකස් කරයි. විවිධ වර්ණ යොදා ඒවා අලංකාර
කරයි. දින කිහිපයක් සිදුවන ගම්මඩුව නැරඹීමට රසවිදීමට අපේ ගමේ අය පමණක් නොව අවට
ගම්වාසින්ද පැමිණිම සුලබ දෙයකි. මේ ගම්මඩුවට සෑම වසරකම වාගේ සහභාගිවු බෙර කරුවන්
තිදෙනෙක් මගේ මතකයට එයි. තාත්තා සහ පුතුන් දෙදෙනෙක් වු ඔවුන් අල්ලපු ගමේය. එකල අප
අවට ගම්මාන නගර ඕනෑම තැනක පැවත්වෙන පෙරහරවල් වල බෙරවාදකයන් ලෙස මොවුන්ගේ
සහභාගිත්වය ස්ථිරය. මෙම කියන කාලයේ පුතුන්
දෙදෙනා ගැටවරයන්ය. පසු කලෙක මොවුන් දෙදෙනාම රාඡ්‍ය නැටුම් කන්ඩායමේ හෝ ආරක්ෂක අංශ
නැටුම් කණ්ඩායම් වලට බැදී ඒවලේ අත්‍යාවශ්‍ය සාමාඡිකයන් වු බව ඒ දිනවලම දැනගතිමි. අද
වනවිට වෙනත් දක්ෂ බෙරකරුවන් පැමිනෙන බව දැන ගතිමි. ගම්මඩුවේ ප්‍රධානම අංගය වනුයේ
කපු මහත්තයා දේවියට ඇද සලඹ සොලවමින් ලදක් සේ ලැසි ගමනින් කරනු ලබන නැටුමයි. ඉස්සර
කපු සීයාත් පසු කලක සැමි කපුමහත්තයාත් මෙය ඉතාමත් ලස්සනට කලේය.
හොද හොද
සේල්ලම් එලිවන ඡාමයට කියනාසේ මැදියම පසුවු පසු ඉතා වේගවත් නැටුම් පටන්ගනි.
කස්තිරම් බඩ පිලුම් උඩ පිලුම් ආදි නානාප්‍රකාර නැටුම්ය. නට නටා කැරකෙයි. කැරකි
කැරකි නටයි. මේ නැටුම් සියල්ලම වාගේ පහතරට තෙල්මේ නැටුම්ය. පහත රට පෙරහරවල්
පසුපසින් එක්තරා විලාසිතාවකට ඇග නලව නලවා ගමන් කරන, සෙනග වැඩි හන්දි වලදි විවිධ
නැටුම් දස්කම් පාන්නේ මෙම තෙල්මේ නැට්ටුවන්ය. තෙල්මේ නැට්ටුවන් ගේ සලුපිලි ඉතාමත්
වර්ණවත්ය. නලල් පටිය බැද පයට ගෙඡ්ඡි බැද කරන නැටුම් වල ඇත්තේ පුදුම ලස්සනකි. ගම්
මඩුවේ මැදියමෙන් පසු නැටුම් කරුවන් සහ බෙර කරුවන් අතර ඇත්තේ තරගයකි. බෙර කරුවන්
දන්න සියලු ශිල්ප දමා අඩු රිද්මයේ සිට රිද්මය වැඩි කරමින් නරඹන්නන්ටත් නැටවෙන සේ
බෙරවයයි. නැට්ටුවන්ද හැම ශිල්පයක්ම දමමින් නරඹන්නන්ගේ විසිල් හඩ මැද නර්තනයේ
යෙදෙයි. මෙම ගම්මඩු, අල්ලිය දේවාලයේ දශක ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ඇවිත් අදටත්
පැවත්විම ගැන සැමි කපු මහතා ටත් ඔහුට සහය දක්වන පිරිසටත් අප ස්තුති කල යුතුය. සැමි
කපු මහතා දක්ෂ නැට්ටුවෙක් මෙන්ම කුසලතා පිරි නැටුම් පුහුණු කරුවෙකි. ඔහු පුහුණු
කර දේවලයේ ගම්මඩු වල මෙන්ම පෙරහරවල නැටු සමහර නැට්ටුවන් අදවන විට ආරක්ෂක අංශ
මෙන්ම රාඡ්‍ය නැටුම් කණ්ඩායම්වල සාමාඡිකයන් වි අපේ නැටුම් සම්ප්‍රදායන් ලෝකය කර
ගෙනයන බව සත්‍යයකි. අපේ සංස්කෘතික අංගයක් වු ගම්මඩු මෙලෙස හෝ පැවත්විම අගය කළ
යුතුය. ගම්මඩු පවතින කාලය තුල කඩල ටේස් කරත්ත කරුවන් අයිස් ක්‍රීම් වෙලෙන්දන්
අන්නාසි වෙලෙන්දන් සරුවත් විකුනන්නන් සාරවිට කරුවන් ආදින් ගෙන් පිරුනු ප්‍රදේශය
සැණකෙලි සිරි ගනියි. ගම්මඩු පැවත්වෙන දින කිහිපය සංස්කෘතික මංගල්ලයක් වේ.
No comments:
Post a Comment